ගලහ මැණිකට පොලිස් රැකවල්

ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ආසන්නයේ නායගිය ස්ථානයකින් හමු වූ පාෂාණය මැණික් ගලක් බව ස්ථීරවම තහවුරු කළ නොහැකි බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පවසනවා.
පාෂාණය පරික්ෂා කළ නිලධාරීන් පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කළ යුතුව ඇති බවයි.
අදාළ ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහය ඇතිව විශේෂ ආරක්ෂාවක් යොදා තිබෙනවා.

ගලහ ගල්ලන්තැන්න පහළ කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිළ ආසන්නයේ නායගිය ස්ථානයකින් විශාල නිල් පැහැති පාෂණයක් මතුව තිබුණා.
මැණික් ගලක් බවට වන විශ්වාසය සමග බොහෝ පිරිසක් එය නැරඹීමට පැමිණෙන බව අප වාර්තාකරු පැවසුවා.
එම පාෂාණය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ සිදුකෙරෙන තුර අදාළ ස්ථානයට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා තිබෙනවා.
පසුගියදා සිදු නායයෑමත් සමග මෙම පාෂාණය මතු වී ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කළා. මෙම පාෂාණය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක්ද පැමිණියා. මෙය පොකුරක් ආකාරයට තිබෙන යම් විශේෂ ගල් වර්ගයක් වුවත් එය ස්ථිර ලෙසම මැණික් ගලක් ද යන්න මේ අවස්ථාවේ දී තහවුරු කළ නොහැකි බව මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරිය පවසනවා.

Share