ගම්පොළ දී පාසල් සිසුන් තිදෙනෙකු දණ ගස්වා කළ පහරදීමක් සම්බන්ධයෙන් තවත් පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි අවවාද සමගින් ඇප මත මුදා හැරුණා. මේ අතර අදාළ පහරදීම සම්බන්ධයෙන් වන විඩියෝවක්ද මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. පොලිසිය පැවසුවේ ගැටුමට සම්බන්ධ සිසුන් බොහෝ දෙනෙක් මෙවර අපොස සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දෙන සිසුන් බවයි.
ගම්පොළ ප්‍රදේශයේ පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇතිව තිබූ ආරවුලක් සම්බන්ධයෙන් වන වීඩීයෝ දර්ශන කිහිපයක් මේ දිනවන සමාජ මාධ්‍යයේ සැරිසරනවා. එම දර්ශනවල දැක්වෙන්නේ සිසුන් තිදෙනෙකු දණ ගස්වා පාසල් නිල ඇඳුමින් සිටින තවත් සිසුන් පිරිසක් විසින් පරුෂ වචනයෙන් බැණ වදිමින් මුහුණට පහර දෙන ආකාරයක්. කෙසේ වෙතත් අදාළ පහරකෑමට ළක්වූ සිසුන් තිදෙනා මෙම සිදුවිම දෙමාපියන්ගෙන් සඟවාගෙන සිට ඇති අතර පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ඊට අදාළ වීඩියෝව සංසරණය වීමත් සමඟ ඔවුන්ගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් පසුගිය 16 වැනිදා ගම්පොල කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබුණා. මුහුණට හා කන් වලට පහරදීමෙන් සිදු වූ තැලුම් තුවාල හේතුවෙන් පසුව ඔවුන් කුරුඳුවත්ත රෝහලට ඇතුලත් කෙරුණා. මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ සිසුන් දෙදෙනකු ඊයේ පොලිස් භාරයට ගෙන ගම්පල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ දැඩි අවවාද ද සමඟින්. ඔවුන් ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් පාසල් දෙකක සිසුන් වන අතර අපහාසාත්මක වචනයක් මුල් කර ගනිමින් මෙම ආරවුල සිදුව ඇති බවටයි දැනට සිදුකළ විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ. පොලිස් භාරයට ගත් සිසුන් අතර ආරවුල සඳහා පිරිස මෙහෙයවූ සිසුවාද සිටින බවයි පොලිසිය පැවසුවේ. ගැටුමට සම්බන්ධ වූ සිසුන්ගෙන් බොහෝ දෙනෙක් මෙවර සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දෙන සිසුන් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති වරයා ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.





