ගම්පොල අම්බුළුවාවෙ සියලු ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පරිසර අමාත්‍යාංශ තීරණය කරයි

දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති ගම්පොල අම්බුළුවාව පාරිසරික කලාපයේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳව විශේෂඥ වාර්තාවක් ලැබෙන තෙක් එහි සියලු ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පරිසර අමාත්‍යාංශ තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යංශය සඳහන් කරන්නේ අම්බුළුවාව පාරිසරික කලාපයේ මතුව ඇති ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද යෝජනා වී ඇති බවයි

අම්බුළුවාව මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල ප්‍රදේශයේ පිහිටි, සංචාරක ආකර්ශනය දිනා ගත් ස්ථානයක්.
ඒ සඳහා වැඩි දායකත්වයක් දුන්නේ මේ කඳු මුදුනේ ඉදිකර ඇති මතභේදයට තුඩු දුන් අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයයි.
මේ සඳහා රජය සතු ඉඩම් පවරා ගත් ආකාරය සම්බන්ධයෙන් පවා මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.
රජයේ ඉඩම් පවරා ගැනීමේ සියලු ක්‍රමවේදයන්ට පටහැනිව හිටපු අග්‍රාමාත්‍යවරයකු වන දී.මූ ජයරත්න මහතාගේ නමින් පවතින භාරයකට සම්පූර්ණ පරිපාලන සහ ආර්ථික අයිතිවාසිකම් ලැබෙන පරිදි වසර 2009 දී සම්මත කරගන්නා ලද පනතක් හරහා අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට ඉඩම් පවරාගෙන තිබුනා.
ඉන් නොනැවතුණු මෙම නීති විරෝධී භාරය එහි සිදුකළ බොහෝමයක් ඉදිකිරීම් සඳහා ද වැය කර තිබුණේ මෙරට බදු ගෙවන ජනතාවගේ මුදල්.
මෙම කඳු මුදුනේ වී බිස්සක හැඩයෙන් යුතුව ඉදිකර ඇති අම්බුළුවාව සෑයේ ඉදි කිරීම් ප්‍රමිතිය ද මේ වන විට ප්‍රශ්නකාරී වී ඇත්තේ ඒ සඳහා වන මූලික ඉදිකිරීම් ප්‍රමිතියි පවා අනුගමනය කර නොමැති බවට මතුවන චෝදනා හේතුවෙන්.
අම්බුලුවාව සහ එහි පිහිටුවා ඇති ජෛව විවිධත්ව සංකීර්ණයට විවිධ චෝදනා එල්ලවන අතරවාරයේ ‍ඒ ආශ්‍රිතව මෙරට පළමු කේබල්කාර් ව්‍යාපෘතියත් ආරම්භ කිරීමට අදාළ පදනම කටයුතු කර තිබුණා.
ඒ මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන සමාගමට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ ඇති සම්බන්ධතාව පිළිබඳව ද ප්‍රශ්න කරමින්.
කෙසේ වෙතත් පසුගිය දිනවල මෙරටට බලපෑ දිට්වා සුළි කුනාටුව හේතුවෙන් ගම්පොළ ප්‍රදේශයට බරපතළ පාරිසරික බලපෑම් සිදුවුණා.
එහිදී මෙම ප්‍රදේශයේ එක් කොටසක් නාය යෑම ලක්වුනේ අම්බුළුවාව පාරිසරික කලාපය ආශ්‍රිතව ඉදි කෙරෙන මෙම අනාරක්ෂිත ඉදි කිරීමත් ප්‍රශ්න කරමින්
මෙම නීතිවිරෝධී ඉදිකිරීම සම්බන්ධයෙන් අවස්ථා ගනනාවක දී නීතිමය ක්‍රියාමාර්ග සඳහා ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය යොමුවුණ ද රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇල්මැරුණු ක්‍රියා පිළිවෙත නිසා එම නීතිමය ක්‍රියාමාර්ග හරහා අපේක්‍ෂිත අරමුණු ඉටුවීම වෙනුවට සිදුවූයේ අදාල ප්‍රාදේශීය ලේකම්වරියට සිය පෞද්ගලික මුදලින් වන්දි ගෙවීමට සිදුවීමයි.
එවන් තත්ත්වයක් යටතේයි මේ සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් ලබා ගන්න තුරු මෙහි සියළු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම්දී ඇත්තේ.
එමෙන්ම අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත්කිරීමට ද යෝජනා වී ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම ඉදිරියේ දී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකිරීමට කටයුතු කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Share