අභාවප්‍රාප්ත බංග්ලාදේශ හිටපු අගමැතිනී ඛලිඩා ෂියාගේ අවසන් කටයුතු අද පස්වරුවේ ඩකා අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආසන්නයේ දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණා.
ඇගේ සිරුර මිහිදන් කෙරුණේ, ඇගේ සැමියා වන අභාවප්‍රාප්ත බංග්ලාදේශ ජනාධිපති සියාඋර් රහ්මාන්ගේ දේහය මිහිදන් කෙරුණු සොහොන් කොත ආසන්නයේයි.
ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී සියාඋර් රහ්මාන් 1981 දී ඝාතනය කිරීමෙන් පසු ජෙනරාල් හුසේන් මුහම්මද් එර්ෂාඩ්ගේ හමුදා පාලනයට එරෙහිව, නූතන ප්‍රජාතන්ත්‍රවාදී බංග්ලාදේශයක් වෙනුවෙන් ඛලීඩා ෂියා ගෙන ගිය අරගලය ඇය බංග්ලාදේශයේ පළමු අගැමතිනිය දක්වා ඔසවා තබනු ලැබුවා.
බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව ලෙස දිගු කලක් කටයුතු කළ ඇය, තෙවරක් බංග්ලාදේශ අගමැතිනිය ලෙස කටයුතු කර තිබෙනවා.
බංග්ලාදේශයේ කාන්තා අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ නායිකාව ලෙස ප්‍රකට ඛලිඩා ෂියා, දේශපාලන ප්‍රතිවාදියා වූ ෂෙයික් හසීනාගේ පාලනය යටතේ සිරගත වීම්, නිවාස අඩස්සියේ සිටීම්වලින් බහුල දේශපාලන ජීවිතයකට මුහුණ දුන්නා.
ඇගේ සිරුර මහජනයා සඳහා විවෘත නොකෙරුණ ද සිය දේශපාලන නායිකාවට සමු දීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද ඩකා අගනුවරට රැස්ව සිටියා.
බංග්ලාදේශ අන්තර්වාර රජය, හිටපු අගමැතිනියගේ අභාවය වෙන්වෙන් දින තුනක රාජ්‍ය ශෝක කාලයක් සහ එක්දින පොදු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබුණා.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, පකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ඉෂාක් ඩාර් ඇතුළු විදේශීය සම්භාවනීය අමුත්තන් රැසක් ද අවමංගල්‍යයට එක්ව සිටියා.





