T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් කෙරෙමින් පවතින කොළඹ SSC ක්‍රීඩාංගණයේ අභිනව විදුලි ආලෝක පද්ධතිය ඊයේ පස්වරුවේ විවෘත කෙරුණා.
ඒ අනුව මෙරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ අතුරින් විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපනය කළ පස්වැනි ක්‍රීඩාංගණය, SSC ක්‍රීඩාංගණයයි.
විදුලි ආලෝකය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පළමුව පන්දුවට මුහුණ දෙද්දී ශ්‍රී ලංකා T20 නායක දසුන් ශානක පන්දු යැවීමේ නිරත වුණා.
එස් එස් සී කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන කණ්ඩායම අතර ප්‍රදර්ශන තරගය ආරම්භ වුණේ ඉන් අනතුරුවයි.
කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ, සූරියවැව සහ රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණවල මීට පෙර විදුලි ආලෝක පද්ධති ස්ථාපනය කර තිබෙනවා.
SSC ක්‍රීඩාංගණයේ අභිනව ආලෝක පද්ධතිය LED තාක්ෂණය මත පදනම් වූ කුළුණු 6කින් සමන්විතයි.
සමස්ත ක්‍රීඩාංගණය පුරා ඒකාකාර ආලෝකකරණයක් ලබාදීම සඳහා ‘LED ලුමිනියර්’ 630ක් මේ සඳහා භාවිතා කර ඇත.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවශ්‍යතාවට සරිලන ලෙස දීප්තිය සහිත මෙම පද්ධතිය ක්‍රීඩකයින්, නිලධාරීන් සහ නරඹන්නන් සඳහා උසස් දෘශ්‍ය පැහැදිළිතාවක් ලබාදෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.
ඊට අමතරව නරඹන්නන්ට වැඩි ආශ්වාදයක් ගෙනඒමේ අරමුණින් දෘශ්‍යමය වශයෙන් වඩාත් ආකර්ෂණීය සිදුවීම් නිර්මාණය කිරීමට හැකි වර්ණ ආලෝකකරණ දර්ශන ඇතුළුව බහුවිධ මෙහෙයුම් ක්‍රම සක්‍රීය කළ හැකි වන නවීන ආලෝකකරණ පාලන පද්ධතියක්ද මෙහි ස්ථාපනය කර තිබීම විශේෂත්වයක්.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ තරග පහක් SSC ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.
ලෝක කුසලාන සමාරම්භක තරගය වන පාකිස්තාන – නෙදර්ලන්ත තරගය පැවැත්වෙන්නේ ද එස්එස්සී හිදී.





