විදුලි ආලෝකය යටතේ ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළ මෙරට පස්වැනි ක්‍රීඩාංගණය ලෙස කොළඹ සිංහල සමාජ ක්‍රීඩාංගණය ඊයේ ඉතිහාසයට එක් වුණා.
එම ඓතිහාසික තරගයේ දී පාකිස්තානය ලකුණු 32කින් ඇමෙරිකාව පරාජය කරමින් T20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි ජයත් ලැබුවා.
මේ අතර ඊයේ පැවති තවත් තරගයක දී T20 ලෝක කුසලාන තරගයක ඕනෑම කඩුල්ලක් සඳහා හොඳම සබඳතාව පිහිටුවීමට නවසීලන්ත ආරම්භක පිතිකරු යුගලය සමත් වුණා.
නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය නිල විකාශන අයිතිය හිමි ටීවී සුප්‍රීම් ඔස්සේ තරගාවලියේ සියලු තොරතුරු සජීවීව දැක ගන්නට ඔබටත් හැකියි.
1952 තරම් ඈත අතීතයකට විහිදී යන කොළඹ SSC ක්‍රීඩාංගණයේ නව විදුලි අලෝක පද්ධතිය සවි කිරීමෙන් පසු ආලෝක ධාරා මධ්‍යයේ ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර තරගය ඊයේ පැවැත්වුණා.
T20 ලෝක කුසලාන තරගාවලියේ පකිස්ථානය සහ අමෙරිකාව අතර තරගයට සත්කාරකත්වය ලබා දෙමින් කොළඹ සිංහල සමාජ ක්‍රීඩාංගණය මෙම ඓතිහාසික සන්ධිස්ථානය සනිටුහන් කළා.
ඒ අනුව ආර්. ප්‍රේමදාස, රංගිරි දඹුල්ල, පල්ලෙකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණවලට අමතරව විදුලි ආලෝකය යටතේ තරගයක් පැවැත්වුණු මෙරට පස්වැනි ක්‍රීඩාංගණය එස් එස් සී ක්‍රීඩාංගණය වනවා.
ඇමෙරිකාව මෙරට දී ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ පළමුවරට වීමත් ඊයේ තරගයේ තවත් විශේෂත්වයක්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 190ක් රැස් කළා.
2016 වසරෙන් පසු T20 ලෝක කුසලාන තරගාවලියක පාකිස්තානය තරගයකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව එයයි.
එහිදී ෂහීබ්සා(z)ඩා ෆර්හාන් ලකුණු 73ක් ලබා ගත්තා.
ෂඩාබ් ඛාන් වේගවත් ලකුණු 30ක් රැස් කළේ පන්දු 12ක් පමණක් වැය කරමින්.
පාකිස්තානයේ උපත ලැබූ ෂයන් ජයනගීර් ගේ ලකුණු 49 සමගින් පිළිතුරු ඉනිමට හොඳ ආරම්භයක් ලබා ඇමෙරිකා එක්සත් ජනපදය සමත් වුණා.
නමුත් පාකිස්තාන දඟ පන්දු යවන්නන් ඇමෙරිකානු ක්‍රීඩකයින් මනා පාලනයකට නතු කර ගත්තා.
ෂුබම් රංජානේ පන්දු 28කින් සිය පළමු ජාත්‍යන්තර T20 අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්ත ද ඔහුට කණ්ඩායම ජයග්‍රාහී සීමාවෙන් ඔබ්බට රැගෙන යා හැකි වූයේ නැහැ.
නියමිත පන්දුවාර 20 අවසානයේ ඇමෙරිකාවට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 158ක් පමණයි.
ලකුනු 32කින් තරගය ජයගත් පාකිස්තානය තරගාවලියේ දෙවැනි ජයත් සමගින් A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වුණා.
පාකිස්තානයේ මීළඟ අභියෝගය වන්නේ ලබන ඉරිදා පැවැත්වෙන ඉන්දියාව සමග තරගයයි.
T20 ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග තුනක් අද පැවැත්වෙනවා.
ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අහමදාබාද් හිදී මේ වන විට පැවැත්වෙනවා.
සුපර් එයිට් වටයට පිවිසීමට නම් ඇෆ්ගනිස්තානයට මෙම තරගය අනිවාර්යයෙන් ජයගත යුතුව තිබෙනවා.
යම් හෙයකින් ඔවුන් තරගය පරාජය වුවහොත් කැනඩාව සමග තරගය ජය ගත්තද ඇෆ්ගනිස්තානයට තරගාවලියේ ඉදිරියට යෑමට හැකි වන්නේ නැහැ.
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව මුහුණ දෙන පළමු තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පස්වරු තුනට ආරම්භ වීමට නියමිතයි.
දශකයකට පෙර කොල්කටා හි දී එංගලන්තය සතුව පැවති T20 ලෝක කුසලානය කාර්ලෝස් බ්‍රාත්වෙයිට් විසින් උදුරා ගනු ලැබූ අතීතය ප්‍රතිනිර්මාණය කරමින් එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අද මුම්බායි වන්කඩේ හිදී එකිනෙකා හමුවනවා.
මෙවර තරගාවලියේ නම් දැරූ ප්‍රබල කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන පළමු තරගය මෙයයි.





