කොළඹ සහ ගම්පහ ඉතිහාසයේ මුහුණ දුන් බරපතලම ගංවතුරට මුහුණපායි

කොළඹ සහ ගම්පහ නගරය මේ වන විට ඉතිහාසයේ ඔවුන් මෙතෙක් මුහුණ දුන් බරපතලම ගංවතුර තත්ත්වය අත්විඳිමින් සිටිනවා.
කොළඹ නගරය මෑත ඉතිහාසයේ බරපතලම ගංවතුර තත්ත්වයට මුහුණ දුන්නේ 2016 වසරේ දීයි.
නමුත් අද දවස වන විට කොළඹ නගරයේ තත්ත්වය 2016 දක්නට ලැබුණු ගංවතුර තත්ත්වයට වඩා අතිශයින් බරපතළ බවයි දක්නට ඇත්තේ.
මේ වන විටත් කොළඹ තත්ත්වය 2016 මැයි 15 වැනිදා සිට 17 දක්වා පැවැතුනු මහ ගංවතුර බලපෑම ඉක්මවා ගොස් තිබෙනවා.මෙරටම ප්‍රධානතම සිව් මහා ගංගාවන්ගෙන් එකක් ලෙස සැලකෙන කැලණි ගඟ සයුර මුණ ගැසෙන්නේ මෙරට වඩාත් ජනාකීර්ණ වාණිජ අග නගරය වන කොළඹ නගරය හරහා ගමන් කරමින්.
කැලණි ගඟ කොළඹ නගරයේ වඩාත් වැදගත්ම ස්ථානයක් වන්නාසේම අප රටට වසරකදී දෙවරක් ඇදහැලෙන මෝසම් වර්ෂාවත් සමග යම් යම් මට්ටම්වලින් ගංවතුර තර්ජන ඇති කරනවා.
දශක ගණනාවක් තිස්සේ මෙම ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා බලයේ සිටි විවිධ දේශපාලන පක්ෂ තාවකාලික පැලැස්තර දැමූ නමුත් ඒ සඳහා වන දීර්ඝකාලීන සැලැස්මක් ඉදිරිපත් කරන්නට මෙතෙක් කිසිවෙකුටත් හැකි වී නැහැ.
කොළඹට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කරන තොට ළඟ නාගලගම්විදියේ ජල මාපකයේ අඩි හතේ සීමාව සැලකෙන්නේ මහගංවතුර සීමාවක් ලෙසටයි.
කොළඹ නගරය මෑත කාලීනව අත් විඳී බරපතලම ගංවතුර තත්ත්වයට මුහුණ දුන් 2016 වසරේදි මෙම මාපකයෙහි අධි ගංවතුර තත්ත්වය දැක්වුණේ අඩි 7.64ක් ලෙසින්.
කෙසේ වෙතත් නාගලගම් ජල මාපකය ඊයේ රාත්‍රි 10.00 පසු වන විට පළමු වරට අඩි අටේ සීමාව සටහන් කලා.
ඒ එතෙක් කොළඹ නාගලගම්විදියේ ජල මාපකය ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින්.
එතැන් සිට ඉහල නැගීම ඇරැඹූ කැලණි ගඟේ ජල මට්ටම අද උදෑසන 10.03 වන විට අඩි 8.50 ක අගයක් වාර්තා කළා.
ඒ කොළඹ මහා ගංවතුර සීමාවේ ඉතිහාසය නැවත වතාවක් අලුත් කරමින්.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ප්‍රධාන ගංගා වල ජල ධාරීතාවන් සම්බන්ධයෙන් නිකුත් කළ නවතම නිවේදනය අනුව කැලණි ගඟේ හංවැල්ල ජල මාපකයෙහි අද අලුයම දෙකට ජල මට්ටම දැක්වුණේ මීටර 10.2ක් ලෙසින්.
කෙසේ වෙතත් එය අද පෙරවරු 9.00 වන විට දැක්වුනේ මීටර 9.42ලෙසින් ජල මට්ටම පහළ බසිමින්.
එමෙන්ම අවිස්සාවේල්ල ග්ලෙන්කෝස් ජල මාපකය ඊයේ උදෑසන නවය වන විට මීටර් 18.55ක් ලෙසින් දැක්වුනු අතර එය ද අද පෙරවරුවේ මීටර් 13.05ක් දක්වා පහල බැස තිබුනා.
ඒ අනුව කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑමත් සමග හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයන් හි මේ වනවිටත් පවතින්නේ අධි ගංවතුර තත්ත්වයක්.
මේ හේතුවෙන් කොළොන්නාව, වැල්ලම්පිටිය, කැලණිමුල්ල, ගොතටුව, උඩුමුල්ල උතුර, කඩුවෙල, වල්පොල, මහදෙණිය, රංගල, වැලිවිට, මාලඹේ බටහිර, පහළ බෝමිරිය, බෝමිරිය, ගම්පාර, ගම්පළාත් කොට්ඨාශ මෙන්ම දොම්පේ, ජාඇල, දිව්ලපිටිය, අංගොඩ, කොහිලවත්ත ප්‍රදේශයන්හි මීට පෙර ගංවතුර අවදානමක් ඇති නොවූ ප්‍රදේශ වෙතත් කැලණි ගඟ පිවිසුණා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර මහතා කියා සිටියේ කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.
මේ වන විට කැලණි ගංගාධාරයේ ඉහළ ප්‍රදේශවලට වර්ෂාව පතිත වීමක් සිදු නොවන නිසා ජල මට්ටමේ වැඩිවීමක් සිදු නොවන බවද පැවසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කැලණි පන්සල ආසන්නයේ පිහිටි ගංවතුර වේල්ල ජල මට්ටම ද උපරිම මට්ටමට පැමිණ ඇති බවයි.
මේ හැරුණු විට මල්වතු ඔයේ තන්තිරිමලේ ජල මාපකයේ අද දහවල් 12.00 සටහන්වී ඇති මීටර 9.78ක ජල ප්‍රමාණය සලකා ඒ අවට ප්‍රදේශවල තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මල්වතු ඔයේ තන්තිරිමලේ ජල මාපකය ද ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් ඊයේ මධ්‍යම රාත්‍රී 12.9ට මීටර 10.64ක ඉහලම අගයක් වාර්තා කළා.

Share