කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය අද වැඩි ඡන්ද දෙකකින් සම්මත වෙයි

ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය අද වැඩි ඡන්ද දෙකකින් සම්මත වුණා.
අයවැය සඳහා අද ඡන්ද විමසීම පැවැත්වුණේ දෙවැනි වරටයි.
පළමුවරට පසුගිය 22 වැනිදා පැවති ඡන්ද විමසීමේ දී අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජය කෙරුණා.

ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 සඳහා ඉදිරිපත් කළ මංගල අයවැය පසුගිය 22 වැනිදා පරාජයට පත්වුණා.
එහිදි අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණයි.
පළාත් පාලන නීතිය අනුව නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය දෙවැනි වරටත් අයවැය අද ඉදිරිපත් කළා. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමි වුණා.
විපක්ෂව ලැබුණේ ඡන්ද 56ක් පමණයි. විපක්ෂයේ මන්ත්‍රීවරු පැවසුවේ අයවැය සම්මත කර ගැනීමට හැකි වූයේ බහුතරය තිබීම නිසා නොව තම කණ්ඩායමේ මන්ත්‍රීවරු නොපැමිණීම නිසා බවයි.

මේ අතර 2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා හා විවිධ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබෙනවා.
කොමිෂන් සභාවේ සභාපතිවරයා වන්නේ හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතායි.
ගණකාධිකාරී ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු මෙම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් වනවා.

Share