කොළඹ – මහනුවර මාර්ගය පැය 24ම විවෘතයි

ජන ජීවිතය සමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා රජය පාර්ශ්වයෙන් ලබා දිය හැකි උපරිම සහන සහ ප්‍රතිපාදන ලබා දෙන බවත්, ඒවා ජනතාවට කඩිනමින් ලැබීම සහතික කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගේ කාර්යක්ෂම සහයෝගය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
මේ අතර කඩුගන්නාව ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය අද අලුයම 4.00 සිට සියලුම වාහන සඳහා පැය 24 පුරාම විවෘතව තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළා. නායයෑමේ අවදානම හේතුවෙන් සති කිහිපයක් පුරා කඩුගන්නාව ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය අද අලුයම 4.00 සිට සියලුම වාහන සඳහා පැය 24 පුරාම විවෘත කෙරුණා.

මේ අතර තවත් මාර්ග රැසක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවනවා.
පරන්තන්-කරච්චි-මුලතිව් A35 මාර්ගයේ ගංවතුරෙන් හානි වූ කිලිනොච්චි ප්‍රදේශයේ පාලමක් වෙනුවට ඉන්දියාවෙන් ප්‍රදානය කෙරුණු බේලි පාලමක් ස්ථාපිත කිරීම ආරම්භ කර තිබෙනවා.
පළමු පියවර ලෙස ඉන්දීය යුදහමුදාවේ ඉංජිනේරු ක්ෂේත්‍ර බලකායේ සමාජිකයන්, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරුවන් සහ මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව, හානියට පත් පාලම ඉවත් කිරීම ඊයේ සිදු කළා.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ කමිටු සාකච්ඡාවක් අග්‍රාමත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ අතර බලපෑමට ලක්වු නිවාස හානි තක්සේරු කිරීම අද සිට ආරම්භ කළ බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය පවසනවා.
මෙම තක්සේරු කිරීම් සිදුවන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පිහිටුවනු ලැබූ කමිටුවක් මගින්. ගංවතුර තත්ත්වය බැස යාමත් සමග කොටිගාවත්ත, මුල්ලේරියාව සහ අංගොඩ ප්‍රාදේශීය බල ප්‍රදේශවල කසල ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වනවා.

මේ අතර ගංවතුරෙන් සහ නාය නෑමේ අපදාවලින් හානි සිදු වූ නිවාස පිරිසිදු කිරිම සදහා රුපියල් 25000ක මුදල් ලබා ගැනිමේ ආයදුම්පත් බාර ගැනිම මෙන්ම එම මුදල් අයදුම්කරුවන්ගේ ගිණුම්වලට බැර කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

හදිසි ආපදා තත්ත්වයෙන් ඇතිවු ගංවතුරින් බලපෑමට ලක් වු මහනුවර අධිකරණයේ සියලු පහසුකම් කඩිනමින් ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර අධිකරණ සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැත් වුණා.
ගංවතුර තත්වය හේතුවෙන් අධිකරණයේ විදුලි සම්බන්ධතාවය සම්පුර්ණයෙන් ඇණහිට ඇති බැවින් ප්‍රධාන විදුලි පැනලය යථාවත්වත් කරන තෙක් දින දෙකක් තුළ තාවකාලිකව විදුලිබලය ලබාදීම, අධිකරණයේ බිම් මහලේ සියලු ලේඛණාගාර ගංවතුරින් යට වු අතර, ජලගැල්මට හසුවු එම නඩු වාර්තා ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි කඩිනමින් යථා තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම බිම් මහලේ ස්ථාපිත ලේඛණාගාර සහ අධිකරණයේ පුස්තකාලය ඉහළ මහලක ස්ථාපිත කිරීමට මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

මේ අතර ගංවතුරට හසු වීමෙන් විනාශ වූ ලිපි ලේඛන ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව අධි ශීතකරණ පහසුකම් ඉල්ලා සිටිනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් නදීරා රූපසිංහ මහත්මිය පවසන්නේ විනාශ වූ ලිපි ලේඛන අතර ‌ෙඑතිහාසික වශයෙන් වැදගත් ඒවා ද ඇති බවයි.

මේ අතර ගංවතුරට හසු වීමෙන් දැඩි ලෙස හානි සිදු වූ මහියංගන මූලික රෝහල නිරීක්ෂණයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද පැමිණියා. මහියංගණ මුලික රෝහල පිළිසකරන තුරු, මහියංගණ නගරයේ ස්ථාපනය කර ඇති ඉන්දිය රජය විසින් ලබාදුන් ක්ෂේත්‍ර රෝහල ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.

මේ අතර නුවරඑළිය ලවර්ස්ලිප් දිය ඇල්ලට පහළ ගම්මානය නායයාමේ අවදානමක් නිරීක්ෂණය වී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය සදහන් කරනවා. මේ අතර ඊයේ රාත්‍රියේ බලපිටිය බ්‍රාහ්මණවත්තේ පි. ආර්. ද සිල්වා මාවතේ නිවසකට අකුණක් වැදී එම නිවසේ විදුලි උපංග රැසක් විනාශ වී නිවසද ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. අකුණු අනතුරින් නිවැසියන්ට අනතුරක් සිදුව නැහැ.


දිවයිනේ බලපෑ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව අද පස්වරුව වන විට 635ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අතුරුදන්ව ඇති පුද්ගලයික් ගණන 192ක්.
232ක් වූ වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.

Share