කොළඹ නුවර ප්‍රධාන මාර්ගය තවදුරටත් වැසේ

පසුගියදා නායයෑමට ලක්වූ පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිතව ඇති ගල් අධික වර්ෂාපතනය පවතිද්දී ඉවත් කිරීම අනතුරුදායක බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අනුව මාර්ගයේ ගිලා බැස ඇති ස්ථාන තාවකාලිකව ප්‍රතිසංස්කරණයෙන් පසු ඉදිරි දින දෙක ඇතුළත කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් හෝ විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවැසුවා. අධික වර්ෂාවත් සමග පසුගිය 22 වැනිදා පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් සහ ගල් පෙරළීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙක් තුවාල ලැබුවා.
එම අනතුරත් සමග කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් මේ වන විට මුලුමනින්ම වසා තිබෙනවා.
කෙසේනමුත් අද උදෑසන උසස් පෙළ විභාග සිසුන් සහ රැකියා සඳහා ගමන් කරන පිරිස් සඳහා පොදු ප්‍රවාහන බස් රථ 3ක් පමණක් ධාවනයට එක්කර තිබුණා. කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පැවැත්වුණේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජිතයින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නියෝජිතයින්, පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. මේ අතර මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා. මේ අතර මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ ගමන් ගත් ත්‍රි රෝද රථයක් මතට තලගොල්ල ප්‍රදේශයේ දී ගසක් කඩා වැටී ඊයේ රාත්‍රී 9.30ට පමණ අනතුරක් සිදුවුණා.
අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයින් සිව්දෙනෙකු ත්‍රිරෝද රථයේ සිර වී සිටි අතර ඔවුන් බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව කටයුතු කළා.
අවුරුදු දෙකහමාරක ගැහැණු දරුවෙක් ඇයගේ මිත්තණිය සහ සීයා මෙලෙස අනතුරට පත්ව තිබුණේ රඹුක්කන ඥාති නිවසක සිට මාවනැල්ලේ පිහිටි සිය නිවස බලා යමින් සිටියදී.
අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයන් මාවනැල්ල මුලික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී ත්‍රිරෝද රථයේ රියදුරු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.
මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
අනතුරින් තුවාල ලැබු අවුරුදු දෙකහමාරක ගැහැණු දරුවා ඇතුළු ඇයගේ මිත්තණිය සහ සීයා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයා පැවසුවා.

මේ අතර උඩුගම – ගල්ලන්දල ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටී නිවාස 4කට හානි සිදුව තිබෙනවා. මේ අතර අධික වර්ෂාපතනය හේතුවෙන් වැල්ලවාය – කිරිදිඔය ප්‍රදේශ කිහිපයකින් පිටාර ගලන බව අප වාර්තාකරුවන් පැවසුවා. මේ අතර පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලං, ගිං, සහ කළු ගඟ ආශ්‍රිත කුඩා ගඟ, අත්තනගලු ඔය, මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර තත්ත්වයන් සම්බන්ධව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හෙට දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකියි.

Share