මේ අතර පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද සිට යළි ආරම්භ වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ආපදාවට ලක් වූ දුම්රිය මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් මෙම ධාවන කටයුතු නැවත ආරම්භ කරන බවයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටිඔය දුම්රිය පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදාගෙන ගිස් තිබුනා. මේ හේතුවෙන් කොළඹ කොටුව සිට හලාවත/ පුත්තලම අතර දුම්රිය ධාවනය අත්හිටුවීමට පියවර ගැනුණා.
ඒ හේතුවෙන් හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබු දුම්රිය කට්ටල 05ක් දුම්රිය ධාවනය සදහා යොදා ගැනීමට නොහැකි වූ අතර, එම මාර්ගයේ දුම්රිය ධාවනය, නාත්තන්ඩිය දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වුණා.
ඒ අනුව එම මාර්ගය යථා යතත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව අද සිට හලාවත දක්වා දුම්රිය ධාවනය සිදුකෙරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම මීට අමතරව කොළඹ කොටුව සහ මීගමුව අතර උදෑසන සහ සවස් කාලයේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල හැටන් දක්වා දුම්රිය මාර්ගයේ හානි නිරීක්ෂණයට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් හා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුලු පිරිසක් පැමිණියා.
මේ අතර පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල – ස්ප්‍රිංවැලි මාර්ගයේ ස්ප්‍රිංවැලි ප්‍රදේශයේදී දැඩි ලෙස හානි වී විනාශ වූ පාලම වෙනුවට විකල්ප පාලමක් ලෙස බේලි පාලමක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම මාර්ගය, ප්‍රදේශයේ ජනතාවගේ දෛනික අවශ්‍යතා මෙන්ම වතු ක්ෂේත්රයේ ප්‍රවාහන කටයුතු සඳහාද අතිශය වැදගත් මාර්ගයක්.
පාලම විනාශ වීම හේතුවෙන් පොදු ප්‍රවාහන කටයුතු මුළුමනින්ම අඩාල වී තිබුණා.
27 වැනිදා බේලි පාලම සකසා ඇති අතර කඩිනමින් පාලමේ සියළු වැඩ අවසන් කර වාහන ධාවනයට අවස්ථාව සලසා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වනවා.
මේ අතර ලක්ෂපාන ජල විදුලි බලාගාරයට පිවිසෙන මාර්ගයේ සිට ගිනිගත්හේන කලුගල පොල්පිටිය දක්වා කිලෝ මීටර් 11ක් දුර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර තිබෙනවා.





