කොහුවලදි වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු කොහුවල දී කළ වෙඩි තැබීමකින් ත්‍රි රෝද රථ රියදුරෙක් තුවාල ලැබුවා.
වෙඩිවැදීමට ලක්ව තිබුණේ දෙහිවල බෝධියවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අවිශ්ක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් කටයුතු කළ අයෙක් බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. නුගේගොඩ මංසන්ධිය සහ කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක රියදුරු ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රී 8.30ට පමණ වෙඩි තබා තිබුණා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය පැවසුවා.

වෙඩි ප්‍රහාරයට ලක් වුයේ දෙහිවල බෝධියවත්ත ශ්‍රී සරණංකර පාර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සචින්ත පෙරේරා නැමැත්තෙක්.
තුවාල ලැබූ ඔහු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට‌ ඇතුළත් කෙරුණු අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.
මෙම වෙඩික්කරුවන් දෙදෙනා විසින් ත්‍රිරෝදය ලුහුබඳින අයුරු දැක්වෙන cctv දර්ශන පෙලක් ද අප වෙත ලැබී තිබෙනවා.

වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණය වූයේ මොහු දෙහිවල බෝධියවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන අවිශ්ක නැමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් කටයුතුවල නිරත වූවෙක් බවයි.
එමෙන්ම මෙම පුද්ගලයා මින් පෙර මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ සන්තකයේ ළඟා තබාගැනීම යන චෝදනා යටතේ පොලිස් අත්අඩංගුවේ පසු වී ඇතැයි ද සඳහන්.
මේ අතර වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින මෙම තුවාලකරුගේ තත්ත්වය විමසා බැලීමට ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතා රෝහලට පැමිණියා.

Share