කෙහෙළිය රඹුක්කැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සිව් දෙනෙකුට රුපියල් 27කෝටි පනස් ලක්‍ෂ‍යක දඩ මුදලක්

2022 වසරේ දී මෙරට ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ සමාගමක් හරහා වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්කැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සිව් දෙනෙකුට රුපියල් 27කෝටි පනස් ලක්‍ෂ‍යක දඩ මුදලක් පැනවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලා.
මේ හරහා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුකරයේ ප්‍රධාන චූදිතයා වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නියෝග කළේ රුපියල් හත්කෝටි පනස්ලක්ෂයක මුදලක් රජයට ගෙවන ලෙසටයි.

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලද ප්‍රතිපාදන වලින් මෙරට ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල 2022 වසරේ සැප්තැම්බර් මස 26 වනදා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් පසු ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ “සේවොරිට් පාමසූටිකල් ප්‍රයිවට් ලිමිටඩ්” නැමති සමාගමෙන් අදාළ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබුනේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමු අමුවේ උල්ලංඝනය කරමින්.
මෙම ක්‍රියාවලිය තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සිය පෞද්ගලික මුදලින් රුපියල් කෝටි හත හමාරක මුදලක් රජයට ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන යන අයවළුන්ට රුපියල් කෝටි පහ බැගින් රුපියල් කෝටි 20ක මුදලක් රජයට ගෙවිය යුතු බවත් මෙම තීන්දුවේ සඳහන්.
එමෙන්ම මෙම මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළින් අල්ලස් පනත යටතේ කිසියම් ප්‍රතිපාදනයක් උල්ලංඝනය වන්නේ නම් ඊට අදාළව අවශ්‍ය විමර්ශන මෙහෙයවීමට කරුණු සලකා බලන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට වැඩි දුරටත් නියෝග කළා.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පාර්ශ්ව දෙකක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
කුමුදුනි වික්‍රමසිංහ, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ,
මෙරටට ආනයනය කරන ඖෂධ හා වෛද්‍ය සැපයුම් වල ප්‍රමිතිය හා ගුණාත්මක භාවය තහවුරු කර මහජන සෞඛ්‍යය සුරැකීමේ භාරදූර වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පැවරී ඇති බවයි.
නමුත් ප්‍රශ්නගත වෛද්‍ය සැපයුම් මිලදී ගෙන ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ සමාගමකින් වන අතර එම අධිකාරියේ නිලධාරින් දැන දැනම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මෙම වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබෙන බවත් අගවිනිසුරුවරයා සඳහන් කළා.
එමෙන්ම මෙම වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී වගඋත්තරකරුවන් අත්තනෝමතික ආකාරයෙන් ක්‍රියා කර තිබෙන බවත් පැවසූ අගවිනිසුරුවරු වැඩිදුරටත් කියා සිටියේ වග උත්තරකරුවන් ජනතා සුභසාධනය සඳහා වෙන්කර තිබෙන රාජ්‍ය අරමුදල් අවභාවිත කර එම මුදල් ජනතාවට අහිමි කිරීමට කටයුතු කර ඇති බවටයි.
මහජනතාව විසින් පවරා තිබෙන බලය උපයෝගී කරගෙන මහජන සේවය ඉටු කිරීමට වගඋත්තරකරුවන් බැඳී සිටින අතර එම බැඳීම් වල වගකීම ඔවුන් තේරුම් නොගන්නේ නම් එය මතක් කරදීමට අධිකරණය බැඳී සිටින බවත් මෙම තීන්දුවේ සඳහන්.
එසේම වග උත්තරකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළ වග උත්තරකාර නිලධාරීන්ගේ ක්‍රියා කලාපය තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන “නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය” උල්ලංඝනය වී තිබෙන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුව තුළින් අවධාරණය කළා.
ඒ අනුව ඉහත සඳහන් ආකාරයට වග උත්තරකරුවන් විසින් රජයට වන්දි ගෙවිය යුතු බවයි තීන්දුවේ අවසන් වශයෙන් සඳහන් කර ඇත්තේ.

Share