කිබුලත්තාවල පාලම කැඩීයාමෙන් ගම්මාන රැසක ජනතාව මහත් දුෂ්කරතාවකට

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගය 7කණුව ප්‍රදේශයෙන් බදුලු ඔය හරහා ගමන් කිරීමට තිබූ සොරණාතොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කිබුලත්තාවල පාලම කැඩීයාමෙන් ගම්මාන රැසක ජනතාව මහත් දුෂ්කරතාවක ට පත්ව සිටිනවා
පැවති ආපදා තත්වයත් සමගින් බදුලු ඔයේ සැඩ පහරට හසුව මෙම පාලම කැඩීගොස් ඇත්තේ පසුගිය පසුගිය 27වන වෙනිදායි
කෙසේ වෙතත් මෙතෙක් මෙම කැඩී ගිය පාලම සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙකුගේ ඇස නොගැටීම නිසා ජනතාවට සිදුව ඇත්තේ අවදානම මැද ටියුබයක් ලෑලි දෙකකින් ගැට ගසාගත් තාවකාලික පාරුවක් මගින් එගොඩ මෙගොඩ යෑමටයි.
ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉතා අනතුරුදායක ලෙස තම ගමන් පහසුව සලසා ගන්නා ජනතාවගේ ගැටලුව පිළිබඳව සොයා බලා ඉක්මනින් පාලම යළි ඉදිකර දෙන ලෙසයි.
මේ අතර ගම්පොල කීරපන හපුගස්පිටිය ප්‍රදේශයේ ඇති වූ විශාල නායයාමකින් නිවාස කිහිපයකට දැඩි හානි සිදුව තිබුණා.
ඇතැම් නිවාස තිබූ ස්ථානයක් පවා සොයා ගත නොහැකි තරමට පස් කන්දට යටවී ඇති ආකාරය නායයාමේ බරපතළ කම කියා පානවා
මේ හේතුවෙන් එහි සිටි ඇතැම් පදිංචිකරුවන් ට සිදුව ඇත්තේ ඥාති නිවාසවලට වී සිය ජීවිතය ගත කිරීමටයි.
මේ අතර දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශ රැසක ජනතාවද දැඩි විපතට පත් වුණා.
එසේම වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෲක්සයිඩ්වත්ත පහළ කොටසේ ඇති වූ නායයාමේ අවදානම හේතුවෙන් එහි සිටි පවුල් 62ක ජනතාවක් තවමත් සිටින්නේ ආරක්ෂිත මධ්‍යස්ථානවලයි.
ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම අනාගතය පිළිබඳ නිශ්චිත තීරණයක් හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙසයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ එළැඹෙන දෙසැම්බර් 29 වැනිදා සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.
ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
පවතින කාලගුණ විපර්යාසය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේත්ව මගින් නිකුත් කරනු ලබන නිල නිවේදන සහ අනාවැකි පිළිබඳව සැලකිලිමත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව සඳහා ගෙවනු ලබන රුපියල් 25000 දීමනාව 82.8%කට සහ රුපියල් 50000 දීමනාව සියයට 2.4කට ගෙවා අවසන් බවයි.

Share