කාන්තාවකගේ රන්මාලය සහිත මුදල් පසුම්බිය පැහැරගත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

වියපත් කාන්තාවකගේ මුදල් පසුම්බියක් කොල්ල කා පලා යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුගේ මැදිහත්වීමෙන් කොටු කර ගෙන තිබෙනවා.
කාන්තාවන් හතර දෙනෙකු ගේ කල්ලියක් මෙම කොල්ල කෑමට සම්බන්ධ අතර, කාන්තාවන් දෙදෙනෙකු පලා ගොස් ඇතැයි සඳහන්.
බොරැල්ලේ සිට කොට්ටාවේ ගමනාන්තයට‍ පැමිණි මාර්ග අංක 174 බස් රථයෙන් බැසමින් සිටි වයෝවෘධ කාන්තාවකගේ මුදල් පසුම්බියක් කාන්තාවන් සිව් දෙනෙකු විසින් පැහැර ගෙන තිබෙනවා.

වයෝවෘධ කාන්තාවගේ කෑ ගැසීම අසා වහා ක්‍රියාත්මක වූ බස් රථයේ කොන්දොස්තරවරයා පලා යමින් සිටි කාන්තාවන් පසුපස ලුහුබැඳ ගොස් දෙදෙනෙකු කොටු කර ගත්තා.

මේ සඳහා කොන්දොස්තරවරයාට ප්‍රදේශවාසීන්ගේ සහය ලැබී තිබුණා.

වයෝවෘද කාන්තාව බස් රථය තුළදී තමන් පැලඳ සිටි රන්මාලය මුදල් පසුම්බියට දමා ඇති අතර, ඒ බව දුටු මෙම කාන්තාවන් මුදල් පසුම්බිය පැහැර ගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

කෙසේවෙතත් මෙම කාන්තාවන් කොටුවන්නේ මේ ආකාරයෙන් මුදල් පසුම්බි මුදල් පැහැර ගන්නා කාන්තාවන් පිරිසක් නගරයේ සැරිසරන බවට පොදු ප්‍රවාහන සේවාවේ නිරත සේවකයින්ට කොට්ටාව පොලිසිය දැනුවත් කර තිබූ පසුබිමකයි.

ප්‍රදේශවාසීන්ට කොටුවූ කාන්තාවන් දෙදෙනා කොට්ටාව පොලිසියට භාර දී තිබෙනවා.

පලා ගිය කාන්තාවන් දෙදෙනා සොයා කොට්ටාව පොලිසිය විමර්ශන සිදු කරනවා.

Share