කළු පාලම ගැන නියෝජ්‍ය ඇමති පැහැදිලි කරයි

ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ පේරාදෙණිය කලු පාලම ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු අතර මඟ නවතා දමා ඇති බවට පල වන වාර්තා අසත්‍ය බව ප්‍රවහන මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා
අදාළ වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පල කළේ සැලසුම් කළ කාලවකවානුව තුළ මහනුවරට දුම්රිය ධාවනය කිරීමට හැකි වනු ඇති බවයි.

කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වු දුම්රිය ගමනේ අමතක නොවන සුවිශේෂි අත්දැකීමක් වන්නේ පේරාදෙණිය කළු පාලම මතින් ගමන් කිරීමයි.
කෙසේවෙතත් පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කළු පාලමට දැඩි ලෙස අලාභ හානි සිදු වුණා.
මේ හේතුවෙන් මහනුවර දක්වා වූ දුම්රිය ගමනාගමනය නතර වූ අතර, එහි ප්‍රතිසංස්කරණ කටයුතු ජනවාරි මාසයේ දී ආරම්භ කළා.
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර, ඔවුන්ගේ ඉලක්කය වූයේ අප්‍රේල් මස වන විට ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමයි.
කෙසේවෙතත් මේ වන විට ඉදිකිරීම් අත්හිටුවා ඇති බවට විවිධ වාර්තා පළ වුණා.
මේ අතර, පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ දැනුවත් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ ප්‍රතිසංස්කරණ කටයුතු නැවතී ඇති බවට පල වන වාර්තා අසත්‍ය බවයි.

Share