කවුඩුල්ල ජාතික උද්‍යානයේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරින් 5 දෙනෙකු වැඩ තහනම්

කවුඩුල්ල ජාතික උද්‍යානයේ වනඅලි නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීමකින් තොරව උද්‍යානයට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරින් 5 දෙනෙකු වැඩ තහනම් කර ඇති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා පවසනවා.

සිද්ධියට අදාළව තවත් ස්වේච්ඡා නිලධාරින් 4 දෙනෙකු වනජිවි දෙපාර්තමේන්තුවේ කටයුතුවලට යොදා නොගැනීමට තීරණය කළ බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, හබරණ ප්‍රදේශයේ ජීප් සෆාරි සංගම් අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියටත් එවැනි ජාවාරම් සිදුවීමට ඉඩ නොදෙන ක්‍රමවත් වැඩළිවෙලක් සකස් කරන ලෙසයි.

කඩුඩුල්ල ජාතික වනෝද්‍යානය මෙරට වන අලි නැරඹීම සඳහා සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන ගමනාන්තයක්.
ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් පැමිණ විදේශිකයින්ගෙන් මුදල් ලබාගෙන එම මුදල කිහිපදෙනෙකු අතර බෙදා ගන්නා ජාවාරමක් පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
අදාළ ජිප් රථ මගින් එක විදේශිකයෙකුගෙන් ඇමරිකානු ඩොලර් 25 ක මුදලක් අය කරගන්නා බව සඳහන්.
ඊට අදාළව හබරණ ජීප් සෆාරි සංගමය වනජිවි දෙපාර්තමේන්තුව ද දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව කළ වැටලීමක දී වංචනික අයුරින් කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට ඇතුළු වූ ජිප් රථ 10ක් නිලධාරීන් භාරයට ගනු ලැබූ අතර ඔවුන්ට වනෝද්‍යානයට ඇතුලු වීම ද තහනම් කරනු ලැබුවා.මේ සම්බන්ධයෙන් කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා අදහස් පළ කළා. මේ අතර ඉදිරියටත් මෙම ජාවාරම් කිරීමට ඉඩ ලබා නොදී ඒ සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසා දෙන ලෙස ජීප් සෆාරිකරුවන් බලධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා.

Share