දිට්වා නිසා කල් ගිය උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ඇරඹේ

දිට්වා සුලි කුණාටුවත් සමග ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද යලි ආරම්භ වුණා.
ඉතිරි වී තිබූ විෂයන් 10ක් සඳහා අද ආරම්භ වූ විභාගය ලබන 20 වැනිදා දක්වා පැවැත්වෙනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය වසරේ නොවැම්බර් මස 6 වැනිදා ආරම්භ වූ අතර එය දෙසැම්බර් මස 05 වැනි දා අවසන් වීමට නියමිතව තිබුණා.
නමුත් දිවයිනට බලපෑ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් නොවැම්බර් 27 වැනිදා විභාගය අත්හිටුවීමටයි විභාග දෙපාර්තමේන්තුව තීරණය කළේ.
ඒ අනුව කල් දැමූ විෂයන් 10කට අදාළ විභාගය අද ආරම්භ වුණා.
අද දිනයේ විභාගයට මුහුණදීම සඳහා දිවයින පුරා උසස් පෙල සිසුන් මහත් උනන්දුවෙන් පැමිණෙන ආකාරය දක්නට ලැබුණා. ආපදාවෙන් දැඩි බලපෑමට ලක්වූ ප්‍රදේශවල විභාග කටයුතුද අද පෙරවරුවේ සාර්ථකව ආරම්භ වුණා. විභාගය මධ්‍යස්ථාන 2086 කදී ලබන 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Share