ඉරානයේ තෙවැනි උත්තරීත්තර නායකයා ලෙස ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි පත් කර තිබෙනවා.
කෙසේ වෙතත් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ “කමේනිගේ පුතාගේ පත්වීම තමන්ට පිළිගත නොහැකි බවයි.
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක හමුදාව සහ ඉරානයේ පිටුබලය ලබන ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය ද නව උත්තරිත්තර නායකයාට සහාය පල කරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.
අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ උත්තරීත්තර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කෙරුණේ පසුගිය පෙබරවාරි 28 වැනිදායි.
එම ඝාතනයෙන් පසු ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවැනි පුත්‍රයා වන මොජ්තබා කමේනි තෝරා ගනු ලැබ ඇත්තේ ෂියා පූජකවරුන්ගෙන් සමන්විත උත්තරීතර කවුන්සිලයේ පැවති රහස් ඡන්ද විමසීමකින් අනතුරුව බව සඳහන්.
කෙසේ වෙතත් මින් පෙර අවස්ථා ගණනාවකදී අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ නව කායකයා තෝරා පත් කර ගැනීම සඳහා තමන් සමබන්ධ විය යුතු බවයි.
එමෙන්ම ඉරාන නායකයින්ට ඔහුගේ අනුමැතිය නොලැබුනහොත් නව නායකයා “වැඩි කල් ජීවත් නොවනු ඇතැයි ද ඔහු අනතුරු ඇඟවූවා.
ඉරානයේ උත්තරීතර නායකයා පත් කෙරෙන්නේ මෙවන් පසුබිමක් තුළයි.
ඒ අනුව මෙම නව පත් කිරීමෙන් පසු අදහස් දැක්වූ ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ “කමේනිගේ පුතා තමන්ට පිළිගත නොහැකි බවයි.
“අපට අවශ්‍ය වන්නේ ඉරානයට සමගිය සහ සාමය ගෙන එන කෙනෙකු” බවද අමරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
එමෙන්ම ඊශ්‍රායලය ද පවසන්නේ ඔහු ඉලක්කයක් බවයි.
1969 සැප්තැම්බර් 8 වැනි දින ඊසානදිග මෂාඩ් නගරයේ උපත ලබා ඇති මොජ්ටාබා කමේනි අයතුල්ලා අලි කමේනිගේ දරුවන් හය දෙනා අතුරින් දෙවැන්නා වනවා.
ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු අවුරුදු 17දී ඉරාන – ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් එරට යුද හමුදාවේද සේවය කර ඇති බවයි.
අභාවප්‍රාප්ත තම පියාට වඩා දැඩි මත දරන බව විශ්වාස කෙරෙන මොජ්තබා කමේනි, දැන් ඉරානයේ සන්නද්ධ හමුදා සහ ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා පුද්ගලයායි.





