කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මෙම මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා නියෝග කළේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අලුත්කඩේ උසාවි සංකීර්ණයට නුදුරු සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති සැකකරුවන් දෙදෙනෙක්.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා සැකකාර කපිල චන්ද්‍රසේනට රුපියල් ලක්ෂ සියයක ශරීර ඇප තුනක් නියම කර තිබූ අතර මෙම සැකකරුවන් දෙදෙනා ඉන් දෙකක් සඳහා ඉදිරිපත් වී තිබුණා.
කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ අංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරුවන් චූදිත කපිල චන්ද්‍රසේන සමඟ කිසිදු පෞද්ගලික සම්බන්ධතාවයක් හෝ හඳුනාගැනීමක් නොමැතිව, රුපියල් 15,000 ක මුදලක් ලබාගෙන මෙලෙස ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී ඇති බවයි.
දේවා සහ තිස්ස නමැති පුද්ගලයින් දෙදෙනෙකු කළ ඉල්ලීමක් මත තමන් මෙම මුදල ලබාගත් බව සැකකරුවන් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණා
ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව අවශ්‍ය අවස්ථාවකදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට මෙම ඇපකරුවන්ට නොහැකි බවත්, සැකකරු සහ ඇපකරුවන් අතර සම්බන්ධයක් නොමැති බවත් අධිකරණ නිලධාරීන්ට හැඟී ගොස් තිබූ බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.
ඒ අනුව සිදු කළ පැමිණිල්ලකට අනුව ඔවුන් ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතික පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය අධිකරණය හමුවේ පවසා සිටියේ.
මෙය 1997 අංක 30 දරන ඇප පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, ඔවුන් ග්‍රාම නිලධාරී සහතික ලබාගත් ආකාරය පිළිබඳව පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටත් පොලිසියට නියෝග කළා.
එසේම සැකකරුවන්ට නිශ්චිත රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නැති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබුනා
ඒ අනුව සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා එළැඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට‍යි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා නියෝග කළේ.
මේ අතර 2012 වසරේ ග්‍රීසිය ආර්ථික වශයෙන් බිඳ වැටෙමින් පවතින බව දනිමින් එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් බිලියන 1.84 කට අධික මුදලක් ආයෝජනය කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේයැයි චෝදනා කරමින් හිටපු මහා බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට එරෙහිව අල්ලස් කොමිසම යළි කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.
මෙම චෝදනාව සම්බන්ධයෙන් මීට පෙර ද හිටපු මහබැංකු අධිපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණා.
ඉන් පසුව අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමකට අනුව අජිත් නිවාඩ් කබ්රාල්ව අධිකරණය විසින් මුදා හරිනු ලැබුවේ පාඩු කළ එම මුදල මාස තුනක් ඇතුලත යළි ශ්‍රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු බවට කොන්දේසියක් පනවමින්.
එහෙත් එම මුදල ආපසු නොගෙවීම හේතුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව යළිත් අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබෙනවා.

Share