බෙලිඅත්ත පොලිසිය මගින් පසුගිය අගෝස්තු මාසයේ ඉඟුරුවැල්ල – පොකුණ ග්‍රාම සේවා වසමේ ඉඩමක නිදන් හෑරූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ඇතුළු 5 දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට තංගල්ල මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළා.
කෙසේ වෙතත්, තම බිරිඳට අයත් ඉඩමක සිදු කිරීමට සූදානම් වූ ඉදිකිරීමක් සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජනරාල්වරයා පොලිසිය ඇතුළු බලධාරින් නීත්‍යානුකූල ලෙස දැනුවත් කර තිබියදී මෙලෙස අනීතිකව අත්අඩංගුවට ගෙන ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
මේ අතර, මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතැම් ජාවාරම්කරුවන් සමඟ සිදුකෙරෙන කතා බහ සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
බෙලිඅත්ත පොලිසිය මගින් පසුගිය අගෝස්තු මාසයේදී ඉඟුරුවැල්ල – පොකුණ ග්‍රාම සේවා වසමේ ඉඩමක නිදන් හෑරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
අත්අඩංගුවට ගත් පිරිස අතර කට්ටඩියෙකු සිටින බවත් මෙම පිරිස අත්අඩංගුවට ගන්නා විට ඉඩමේ යම් පූජාවක් පවත්වා ඇති බවටත් පොලිසිය විසින් තංගල්ල අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු විශ්‍රාමික මේජර් ජනරාල්වරයා ඇතුළු 5 දෙනා දින 25ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.
මීට අමතරව බෙලිඅත්ත පොලිසිය විසින් අවුරුදු 14ක දරුවෙකුගේ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් සැකකරුවන්ට එරෙහිව සාපරාධි මිනිස් ඝාතනයක් සිදුකිරීමට උත්සාහ දැරීමේ චෝදනාවත් එල්ල කර තිබුණා.
මෙම ගැටලුවට මුහුණු දුන් විශ්‍රාමික මේජර් ජනරාල් කිත්සිරි ඒකනායක මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් නිලධාරියෙක්
36 වසරක සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම ගිය ඔහු රාජකාරි සමය තුළ යුද බිමේදී නිර්භීතව සටන් කළ දක්ෂ පාබල නිලධාරියෙකු ද වුණා
විශ්‍රාම ගැනීමෙන අනතුරුව ඔහුගේ බිරිඳට පාරම්පරිකව උරුම වූ අක්කර 16ක ඉඩමක බෝග වගා කිරීමට මේජර් ජනරාල්වරයා උත්සාහ දැරුව ද එය අසාර්ථක වී තිබුණා
එබැවින් එහි සූර්ය කෝෂ හා පොලිටැනල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔහු සැලසුම් කළේ.
ඊට පෙර එම භූමිය තුළ බහිරව දෝෂයක් ඇතැයි පැවති විශ්වාසය මත එම ඉඩමේ බහිරව පූජාවක් සිදු කිරීමට කටයුතු සූදානම් කළ මේජර් ජනරාල්වරයා ඒ බව බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් දැනුවත් කළා.
මෙවැනි වටපිටාවක් තුළ බෙලිඅත්ත පොලිස් නිලධාරින් පිරිසක් විශ්‍රාමික මේජර් ජනරාල්වරයා ඇතුළු 5 දෙනෙකු මෙම බහිරව පූජාව සිදුකරමින් සිටිය දී අත්අඩංගුවට ගනු ලබන්නේ නිදන් හෑරූ බවට චෝදනා කරමින්.
පසුව ඔවුන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ නිදන් හෑරීම හා සාපරාධි මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීමේ චෝදනා ද එල්ල කරමින්.
ඒ 14 හැවිරිදි දරුවෙකු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින්.
එම ප්‍රකාශයේ සඳහන්ව තිබුනේ තමන් මිතුරෙකු සමග සරුංගල් යැවීම සඳහා අදාල ඉඩමට ගිය අවස්ථාවේ කැබ් රියකින් ගෙන ආ කාන්තාවකගේ ගෙළ කපා දමනු තමන් දුටු බවයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා විශ්‍රාමික මේජර් ජෙනරාල් කිත්සිරි ඒකනායක මහතා සමග සාකච්ඡාවක් සිදුකර තිබුණා.





