ක්‍රිකට් පිටියේ t20 ලෝක ශූරයින් කිරුළු පළඳවන තරගාවලියේ දසවැනි අදියර හෙට ආරම්භ වනවා.
මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන්.
නිදහස් සංඛ්‍යාත ඔස්සේ තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටීවී සුප්‍රීම් වෙතයි.
අයිසීසී t20 ලෝක කුසාලන තරගාවලිය හෙට සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වෙනවා.
කණ්ඩායම් 20ක් එක් කිරුළක් වෙනුවෙන් තරග 55ක දී උරෙනුර ගැටෙනු ඇති.
ඉන්දියාවේ නගර පහක ක්‍රීඩාංගන පහක් තරගාවලියට සත්කාරකත්වය දක්වද්දී ශ්‍රී ලංකාවේ කොළඹ ක්‍රීඩාංගන දෙකක් සහ මහනුවර තරගාවලියට සත්කාරකත්වය දරනවා.
ඉන්දියාවේ අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය, කොල්කටා ඊඩන් ගාර්ඩන්ස්, දිල්ලි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගනය, මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනය සහ චෙන්නායි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනයේ දී තරග 33ක් පැවැත්වීමට නියමිතයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ සිංහල සමාජ ක්‍රිකට් ක්‍රිඩාංගණය සහ මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත තරග ගණන 22ක්.
තරගාවලිය ආරම්භ වන්නේ පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර එස්එස්සී හි දී හෙට පෙරවරු 11ට පැවැත්වෙන තරගයෙන්.
මාර්තු 8 වැනිදා අවසන් මහා තරගය කොළඹ දී හෝ අහමදාබාද් හි දී පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් 20 කාණ්ඩ 4ක් යටතේ මූලික වටයේ තරග වදිනවා.
කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමග එක් කණ්ඩායමක් තරග 4ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් සුපර් එයිට් වටයට පිවිසෙනවා.
එහිදී කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකක් වශයෙන් තරග වදිනු ඇති.
ඉන් කණ්ඩායම් හතරක් අවසන් පූර්ව වටයට පිවිසිනවා.
A කාණ්ඩය ඉන්දියාව, පාකිස්තානය, ඇමෙරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ නැම්බියාවයි.
ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, සිම්බාබ්වේ, සහ ඔ්මානය B කාණ්ඩයට ඇතුළත්.
C කාණ්ඩයට ඇතුළත් වන්නේ එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය, නේපාලය සහ ඉතාලියයි.
නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, කැනඩාව සහ එක්සත් අරාබි එමීර් D කාණ්ඩයේ තරග වදිනවා.
මෙවර තරගාවලියේ වඩාත් ආන්දෝලනාත්මක වූණේ C කාණ්ඩයේ සිටි බංග්ලාදේශය ඉන්දියාවේ දී ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ට තරගාවලිය අහිමි වීමයි.
ඒ අනුව ස්කොට්ලන්තයට ලෝක කුසලාන වරම් හිමි වුණා.
බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමේ තීරණයට විරෝධය පල කිරීමක් ලෙස A කාණ්ඩයේ ඉන්දියාව සමග තරගය වර්ජනය කිරීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා.
එම තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි අවධායනයක් දිනූ ඉන්දු – පාකිස්තානය තරගය වර්ජනය කිරීමට පාකිස්තානය ගත් තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සිය අප්‍රසාදය පළකර තිබෙනවා.
ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, පාකිස්තානය මුහුණදුන් අභියෝගකාරී අවස්ථාවලදී අවදානම නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් ලබාදුන් සහාය අමතක කර ඇති බවයි.
එම තරගයට අවශ්‍ය සියලු වාණිජ මෙහෙයුම් සේවා සැපයුම් සහ ආරක්ෂාවට අදාළ විධිවිධාන සියල්ල සලසා අවසන් කොට තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම ඉන්දු – පාකිස්තාන තරගය සඳහා වන ප්‍රවේශපත්‍ර සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බවත්, එම ප්‍රවේශපත්‍ර සීඝ්‍රෙයන් අලෙවි වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
ඉන්දු පාකිස්තාන තරගය සඳහා වෙනත් කිසිදු තරගයකට නොවූ විරූ ජනතා උද්යෝගයක් පැවතුනා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම මෙරට ආර්ථිකයටද වාණිජයමය වශයෙන් මෙම තරගයෙන් විශාල රුකුලක් සිදුවන්නට ඉඩ තිබු බවද ශම්මි සිල්වා මහතා සිය ලිපියේ සඳහන් කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති ඕනෑම තරගයක් අවලංගු වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැවැන්ත මූල්‍යමය පාඩුවක් ඇති කරනවා මෙන්ම මෙරටට අපේක්ෂිත සංචාරක ආගමනයට බලපෑමක් ඇති කරන බවයි.
පාකිස්තානය මුහුණදුන් අභියෝගකාරී අවස්ථාවලදී සහ සංවේදී අවස්ථාවලදී අවදානම නොතකා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කිහිපවතාවක්ම පාකිස්තානයේ සංචාරවල නිරත වූ බවද ෂම්මි සිල්වා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යැවූ ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාව සමග තරගය ක්‍රීඩා නොකිරීමේ තීරණය යළි සලකා බලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා සිය ලිපියෙන් පාකිස්තානයෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් නායකයින්ගේ පිළිසඳරට එක් වූ සූර්ය කුමාර් යෙදෙව් පැවසුවේ තරගය ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
T20 ලෝක කුසලානයේ තරග පැවැත්වෙන කොළඹ සහ මහනුවර නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා.
තරග පැවැත්වෙන දිනවල ක්‍රීඩාංගන ආශ්‍රිත මාර්ගවල ද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලිසිය පැවසුවා.
අයිසීසී T20 ලෝක කුසලාන තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ නිල විකාශන අයිතිය හිමිව තිබෙන්නේ ටීවී සුප්‍රීම් වෙතයි.
සෑම තරගයකම උණුසුම ටීවී සුප්‍රීම් ඔස්සේ නොමිලේ විඳ ගැනීමට ඒ අනුව ප්‍රේක්ෂක ඔබට අවස්ථාව හිමිව තිබෙනවා.





