කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා නීතිඥවරියකට තර්ජනය කර බැන වැදීමේ හඩපටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
මේ සම්බන්ධයෙන් ටීවී සුප්‍රීම් නිවුස්, නගරාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම සිදුවීම සිතාමතා සැලසුම් සහගතව සිදුකළ එකක් බවයි. කඩුවෙල නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා කාන්තාවකට තර්ජනය කිරීමේ හඩපටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
මෙම හඩපටයේ සිටින කාන්තාව, තමාට කඩුවෙල නගරාධිපතිවරයා තර්ජනය කල බව පවසා දෙසැම්බර් 15 වැනිදා කඩුවෙල පොලිසියේ පැමිණිල්ලක් ද ගොනු කර තිබෙනවා.
අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසීමක් කළා.
එවිට ඔවුන් පැවසුවේ මෙම අවස්ථාවේදී අදාළ කාන්තාවට නගරාධිපතිවරයා විසින් සිය කාමරයෙන් පිටව යන ලෙසට පැවසීම හේතුවෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බවයි.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩුවෙල නගරාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළා.
අප සමග අදහස් දැක්වූ නගරාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ කඩුවෙල – උඩවත්ත මාර්ගයේ වීදි සුනඛ්‍යයන්ට යම් කිසි පිරිසක් විසින් ආහාර ලබාදීම හේතුවෙන් සුනඛ ගහණය වැඩි වී තමන්ට ගැටලුවක් වී තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් කඩුවෙල මහ නගර සභාවට පැමිණිල්ලක් කර තිබූ බවයි.
එම පැමිණිල්ල විමසීමේ දී සුනඛ්‍යයන්ට ආහාර දෙන පිරිස, සත්ත්ව සුභ සාධන සංගමයේ පිරිසක් සහ නීතිඥාවරියක් ද සමඟ කඩුවෙල මහ නගර සභාවට පැමිණ තිබෙනවා.
එහිදී පැමිණි පිරිස අතර සිටි නීතිඥාවරිය කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා සමග ආවේගශීලීව කතා කළ බවයි නගරාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ.
මෙලෙස දිගින් දිගටම අදාළ නීතිඥාවරිය ආවේගශීලීව කතාබහ කිරීම හමුවේ නගරාධිපතිවරයා විසින් නගරාධිපති ඔබද නැත්නම් මමද යනුවෙන් අසා තිබෙනවා.
එහිදී කතාබහ තවත් උණුසුම් වී ඇති අතර එහිදී නගරාධිපතිවරයා විසින් අදාළ පිරිසට රැස්වීමෙන් පිටව යන ලෙස පවසා තිබෙනවා.
ඒ අනුව අදාළ පිරිස විසින් නගරාධිපතිවරයාගේ මෙම කතාබහේ සුළු කොටසක් පමණක් අලලා එය සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවයි මාධ්‍ය ලේකම්වරයා පවසා සිටියේ.
ඒ අනුව මෙම සිද්ධිය අදාළ පාර්ශ්ව විසින් සැලසුම් සහගතව සිදුකළ එකක් බව කඩුවෙල මහ නගර සභාව පවසනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අදාළ නීතිඥාවරිය සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළත් ඇය දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.





