ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ පළමු මුස්ලිම් ජාතික ක්‍රීඩකයා වන උස්මාන් කවාජා සිය දශකයකට අධික ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.
ඒ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් බරපතළ මතභේදාත්මක තොරතුරු රැසක් ජනමාධ්‍යයය ඉදිරියේ තබමින්.
කාවාජා පවසන්නේ සිඩ්නිහි දී අනිද්දා ආරම්භවන ‘අළු බඳුන’ තරගාවලියේ 5වන හා අවසන් තරගයෙන් පසු තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බවයි.

2011 වසරේ දී සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කවාජා ගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ දෙමාපියන් ද සහභාගී වූ හැඟීම්බර විනාඩි 50ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ ඔහු කියා සිටියේ ලොව හොඳම ක්‍රිකට් කණ්ඩායම සමඟ දශකයකට වැඩි කාලයක් ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් තමන් ආඩම්බර වන බවයි.
කෙසේ වෙතත් ඔහුගේ එම කාලය තුළදී අනෙකුත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට වඩා තමන්ට වෙනස් ලෙස සැලකූ බව හැඟුණු බවයි ඔහු කියා සිටියේ.
සිය සමුගැනීම නිවේදනය කරමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් තමන් කළ කිරීමට හා වේදනාවට පත්ව එම දුක් වේදනාවන් තනිව විඳ දරා ගත් බවයි.
2011 වසරේ දී රිකී පොන්ටිං ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමෙන් පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවූ කවාජා මේ වන විට ටෙස්ට් තරග 87ක ඉනිම් 157කදී ලකුණු 6,206ක් රැස්කර තිබෙනවා.
ඔහුගේ තරග දිවිය තුල ඔහු ශතක 16ක් හා අර්ධ ශතක 28ක් රැස්කරගෙන ඇත්තේ ලකුණු 43.39ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගනිමින්.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී දෙනෙත් වල කඳුළු පුරවා ගත් උස්මාන් කවාජා මෙලෙස කියා සිටියා.
“මම පාකිස්තානයෙන් ආපු ආඩම්බර මුස්ලිම් කොල්ලෙක්. උස්මාන්ට කවදාවත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්න ලබෙන්නේ නෑ කියලා ගොඩාක් අය කිව්වා.
හැබැයි බලන්න මා දිහා මම ඒ හිස්වැසුම පැළඳුවා.
ගෙවුණු කාලයේදී හැම විටම මට ටිකක් වෙනස් බවක් දැනුනා. ඒක මේ මොහොතෙත් මට දැනෙනවා. ඒකට මූලිකම හේතුව වුණේ මම සුදු ජාතික ක්‍රීඩකයෙක් නොවුනු නිසා. කොහොම වුණත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තමයි ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායම. මේ හිස්වැසුම මගේ හිසට දරාගන්නට හැකි වීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා.
මට දරුනු කොන්දේ කැක්කුමක් තිබුණා, ඒක මට පාලනය කරගන්න බැරි දෙයක්. නමුත් මාධ්‍ය සහ හිටපු ක්‍රීඩකයින් ඒ සම්බන්ධයෙන් මාව විවේචනය කරමින් කියා සිටියේ මම කැපවීමක් නැති කම්මැලි ක්‍රීඩකයෙක් බවයි.
මම හිතුවා ඒ දේවල් ටික කාලෙකින් අමතක කරාවි කියලා නමුත් මාධ්‍යවත් පැරැණි ක්‍රීඩකයින්වත් ඒ දේවල් අමතක කළේ නැහැ.
හැබැයි මම හිතනවා ඒ ගොඩක් විවේචනවලට මගේ පිත්තෙන් මම උත්තර දුන්නා කියලා.
මේ දේවල් මම කියන්නේ ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායමට එක්වෙන තවත් ක්‍රීඩකයෙකුට ඒක නොවෙන්නයි.
මට ඕන ඊළඟ උස්මාන් කවාජාගේ ගමන වෙනස් වෙන්න.

Share