ඕමානයේ සුල්තාන් හයිතම් බින් තාරික් අල් සයිඩ් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මස්කට්හිදී එකිනෙකා හමුවෙයි

ඕමානයේ සුල්තාන් හයිතම් බින් තාරික් අල් සයිඩ් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මස්කට්හිදී එකිනෙකා හමුවී කලාපීය තත්ත්වය සහ ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් මැදිහත්වීමේ උත්සාහයන් පිළිබඳ සාකච්ඡා කළ බව ඕමාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළා.
ඕමාන් සංචාරය නිමා කර රුසියාව බලා යාමට පෙර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි යළිත් පාකිස්තානයට පැමිණීමට නියමිත බව ද වාර්තා වනවා.
පසුගිය සිකුරාදා ඉස්ලාමාබාද් වෙත පැමිණි අරග්චි ප්‍රමුඛ ටෙහෙරාන් දූත පිරිස ඊයේ යළි පිටත්ව ගියේ දෙවැනි වටයේ සාකච්ඡා අඩපණ වූ පසුබිමකයි.
ඉරාන රජයේ ප්‍රකාශයකට අනුව, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ්ට දුරකථනයෙන් පැවසුවේ තර්ජන හෝ අවහිර කිරීම් යටතේ ටෙහෙරානය ” සාකච්ඡා” වලට එළඹෙන්නේ නැති බවයි.
ගැටුම විසඳීම සඳහා සාකච්ඡාවට කිසියම් පදනමක් දැමීමට පෙර, ඉරාන වරායන් අවහිර කිරීම ඇතුළු “මෙහෙයුම් බාධක” එක්සත් ජනපදය මුලින්ම ඉවත් කළ යුතු බව පෙසෙෂ්කියන් පවසා තිබෙනවා.
කිසිදු සාකච්ඡාවක් නොකර සිටීමට පැය 18ක ගුවන් ගමනක් අනවශ්‍ය බව පවසමින් ට්‍රම්ප් විසින් ඇමෙරිකානු නියෝජිතයන්ගේ ඉස්ලාමාබාද් සංචාරය අවලංගු කරනු ලැබුවා.
ජෙරාඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ් සාකච්ඡා සඳහා ඉස්ලාමාබාද් වෙත පැමිණිමට නියමිතව තිබුණා.

Share