ඕමානයේදී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි අද අලුයම දිවයිනට රැගෙන ආවා. ගුවන් තොටුපලේදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔහු ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදනයකට අනුව ඕමාන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැණුනේ 2025 ජූලි 01 වැනිදායි.
ඕමානයේ සුපිරි හෝටලයක නවාතැන් ගෙන සිටි ඔහු නීතිවිරෝධීව එරට රැඳී සිට තිබුණේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින්.
අත්අඩංගුවට ගත් සැකකරු මෙරටට පිටුවහල් කෙරුණු අතර ඔහු මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් තිදෙනෙක් එරටට ගොස් තිබුණා.
ඔවුන් විසින් සැකකරු අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.
2024 සැප්තැම්බර් මාසයේදී මිදිගම ගොවියාපාන පාලම අසලදී මාළු වෙළෙන්දෙකු වෙඩි තබා ඝාතනය කිරීම.
2025 ජනවාරි මාසයේදී වැලිගම – කප්පරතොට ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම මෙහෙයවීම ඇතුලු මිනීමැරුම් , මංකොල්ලකෑම් , ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම , මත්ද්‍රව්‍ය ජාවාරම සහ කප්පම් ගැනීමේ යන චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකම නඩු විභාග වනවා.
ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු වන ඝාතනයට ළක්වූ “හරක් කටා” සහ “මිදිගම රුවන්” යන අයගේ සමීපතමයෙකු ලෙස මොහු හඳුනාගෙන ඇති අතර, ඔවුන් සමඟ එක්ව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන ආ මිදිගම චූටි , එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැඩි රැකවල් මධ්‍යයයේ රැගෙන යනු ලැබුවා.
ඕමානයේ සිට අද අලුයම දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පවසනවා.
ඔහු විසින් උපයාගන්නා ලද දේපළ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ද පොලිස්පතිවරයා මේ වන විටත් උපදෙස් ලබාදී තිබෙනවා.





