සඳ මතට පා තබා වසර 57කට පසුව මිනිසුන් සහිතව සඳ වටා ගමන් කිරීමේ ඓතිහාසික මෙහෙයුම අරඹමින් නාසා ආයතනයේ ‘ආටෙමිස් 2’ අභ්‍යවකාශ මෙහෙයුමේ ඔරියන් අභ්‍යාවකාශ යානාව මේ වනවිට සාර්ථකව පෘථිවි කක්ෂයෙන් මිදී සඳ දෙසට ගමන් කරමින් පවතීන බව නාසා ආයතනය පවසනවා.
මෙම දස දින මෙහෙයුමේදී ගගනගාමීන් සඳ මත ගොඩබැසීමක් සිදු නොකරන අතර සඳ වටා පියාසර කරමින් නව රොකට්ටුවේ සහ යානයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට නියමිතයි.
ඊයේ ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඇමරිකානු ගගනගාමීන් තිදෙනෙකු සහ කැනේඩියානු ගගනගාමියෙකු සහිතව සාර්ථකව ගුවන්ගත වූ මෙම අභ්‍යවකාශ මෙහෙයුම, වසර 57කට පසු මිනිසුන් සහිතව සඳ වටා ගමන් කිරීම සඳහා නාසා ආයතනය විසින් මෙහෙයවන ඓතිහාසික අභ්‍යවකාශ මෙහෙයුමක්.
මෙය දින 10ක පරීක්ෂණ පියාසැරියක් වන අතර, මෙහිදී ගගනගාමීන් සඳ මත ගොඩබැසීමක් සිදු කරන්නේ නැහැ.
මිනිසුන් සහිතව අභ්‍යවකාශයේ ගමන් කිරීමට ඔරායන් යානයේ පද්ධති කෙතරම් සුදුසු දැයි පරීක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ඔවුන් සඳ වටා ගොස් පෘථිවියට නැවත පැමිණෙන අතර, එමඟින් අනාගතයේදී සඳ මත ගොඩබැසීමට අවශ්‍ය පද්ධති පරීක්ෂා කෙරෙනු ඇති.
මෙම ගමන සඳහා ගගනගාමීන් සිව්දෙනෙකු ඇතුළත්.
රීඩ් වයිස්මන් යානයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන අතර නියමුවා ලෙස කටයුතු කරන්නේ වික්ටර් ග්ලෝවර්.
ඊට අමතරව ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානුවෙකු වන ජෙරමි හැන්සන් යන ගගනගාමීන්ද ඊට ඇතුළත්.
මෙරට වේලාවෙන් අලුයම 2:41ට පමණ මෙහෙයුමේ නියමු වික්ටර් ග්ලෝවර් විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
“අපි දැන් තමයි පටන් ගන්නේ,” “ඊයේ ඇත්තටම දියත් කිරීම ගැන අපි ටිකක් පුදුමයට පත් වුණත්, අපට ඉදිරියෙන් තවත් බොහෝ මෙහෙයුම් ඉතිරිව තිබෙනවා.” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කරනවා.
අභ්‍යවකාශයට ළඟා වූ පසු, ඔරියන් අභ්‍යවකාශ යානය එහි සූර්ය පැනල පියාපත් හතර විසිරුවා හැරියා.
ඒමගින් සූර්ය ශක්තිය ලබා ගැනීමට හැකි වූ අතර, ප්‍රධාන පද්ධති පරීක්ෂා කිරීම සඳහා එහි සිටි කාර්ය මණ්ඩලය වහාම පියාසර මෙහෙයුම් වෙත මාරුවීම ආරම්භ කළා.
පරීක්ෂණ පියාසැරිය ආරම්භ වී මිනිත්තු 49ක් පමණ ගත වූ පසු, ඔරායන් රොකට්ටුවේ ඉහළ අදියර පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයකට ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාත්මක වුණා.
එහි දෙවන දහනය මගින්, ඔරියන් යානය පෘථිවියෙන් සැතපුම් 46,000ක් පමණ උසින් පිහිටි ඉහළ කක්ෂයකට දියත් කෙරුණා.
එහිදී පැය ගනනාවක් සිදුකල පද්ධති පරීක්ෂණ වලින් පසු ඔරියන් යානය වේදිකාවෙන් වෙන් වී ස්වාධීනව පියාසර කිරීම ආරම්භ වුණා.
ඉන් අනතුරුව, කාර්ය මණ්ඩලය විසින් ඔරියන් යානයේ හැසිරවීමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා ස්වයංක්‍රීය තත්ත්වයෙන් මිදී නියමු නිරූපණයක් සිදු කළ බව නාසා ආයතනය සඳහන් කරනවා.
එම නිරූපණය අවසන් වූ පසු, ඔරියන් යානය ආරක්ෂිතව වෙන්වීම සඳහා ස්වයංක්‍රීය පිටවීමේ දහනයක් ක්‍රියාත්මක කර පැසිෆික් සාගරයේ දුරස්ථ ප්‍රදේශයක් හරහා පෘථිවියේ වායුගෝලයට නැවත ඇතුළු වුණා.
මේ දක්වා ඔවුන් සම්පූර්ණ කළ කාර්යයන් අතර, සන්නිවේදනය සඳහා ගැඹුරු අභ්‍යවකාශ ජාලයට මාරුවීම, කාර්ය මණ්ඩලය අභ්‍යවකාශ පරිසරයට හුරු කිරීම, ඔවුන්ගේ පළමු විවේක කාලය සම්පූර්ණ කිරීම, පළමු පියාසර අභ්‍යාස සිදු කිරීම, අභ්‍යවකාශ යානයේ වැසිකිළි පද්ධතිය සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට පත් කිරීම ඇතුළත්.
අප්‍රේල් 6 වන සඳුදා සැලසුම් කර ඇති චන්ද්‍ර පියාසැරිය අතරතුර, ගගනගාමීන් උසස් තත්ත්වයේ ඡායාරූප ලබා ගන්නා අතර, මිනිසුන් කිසිදා සෘජුව නරඹා නැති චන්ද්‍රයාගේ අඳුරු පැත්තද ඇතුළුව චන්ද්‍ර පෘෂ්ඨය පිළිබඳ නිරීක්ෂණ සිදු කරනු ඇති.
එම කාලයේදී චන්ද්‍රයාගේ අඳුරු පැත්ත අර්ධ වශයෙන් පමණක් ආලෝකමත් වුවද, එය මතුපිට සෙවනැලි නිර්මාණය කරමින් භූ දර්ශනයේ ගැඹුර, කඳු වැටි, බෑවුම් සහ ආවාට වැනි ලක්ෂණ පැහැදිලිව හෙළි කිරීමට අපේක්ෂිතයි.
සාර්ථක චන්ද්‍ර පියාසැරියකින් පසු, ගගනගාමීන් නැවත පෘථිවියට පැමිණ, සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් පිහිටි පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩබැසීමට නියමිතයි.
මැදපෙරදිග යුදමය වාතාවරණයක් පවතින පසුබිමක වුවද, ඇමරිකාව මෙම අභ්‍යවකාශ මෙහෙයුම ජයග්‍රාහී ලෙස දියත් කිරීම ලෝකයේම අවධානයට ලක්ව ඇති පසුබිමක, කොස්ටාරිකාවේ සිට ඇට්ලන්ටා බලා ගමන් කරමින් සිටි ඩෙල්ටා එයාර්ලයින්ස් 1784 ගුවන් යානයේ සිටි මගියෙකුට ආටෙමිස් 2 මෙහෙයුම සජීවීව දැක බලාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.





