‘ඔපරේෂන් ගසබ් ලිල් හක්’ මෙහෙයුමෙන් තලේබාන් සටන්කාමීන් 133 දෙනෙකු ජීවිතක්ෂයට

ඇෆ්ගන් තලේබාන් සංවිධානය විසින් එල්ල කළ ඇෆ්ගන්- පකිස්තාන දේශසීමා ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමට පාකිස්තානය ආරම්භ කළ ‘ඔපරේෂන් ගසබ් ලිල් හක්’ (Operation Ghazab lil Haq) මෙහෙයුමෙන් මේ වනවිට තලේබාන් සටන්කාමීන් 133 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව පාකිස්තාන රජය නිවේදනය කර තිබෙනවා.
මෙම මෙහෙයුමේ දී කාබුල්, පක්ටියා සහ කන්දහාර් යන ප්‍රදේශවල පිහිටි තලේබාන් ආරක්ෂක මර්මස්ථාන ඉලක්ක කර ඇති අතර, එහිදී තලේබාන් පාලනයට අයත් මුරපොළවල් 27ක් විනාශ කර තවත් මුරපොළවල් 9ක් පාකිස්තාන හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.
පාකිස්තාන ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් යුද වාහන 80කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බව පාකිස්තාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබෙනවා.
පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සඳහන් කළේ ඇෆ්ගනිස්ථානය ඉන්දියාවේ “ජනපදයක්” බවට පත් කරමින් තලේබාන් පාලනය ලොව පුරා ත්‍රස්තවාදීන් එරටට රැස් කරන බවයි.

වසර ගණනාවක් ඇෆ්ගන් සරණාගතයන්ට සෙවණ දුන් පාකිස්තානයේ ඉවසීම දැන් අවසන් වී ඇති බවත්, මෙය “විවෘත යුද්ධයක්” බවත් ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
මේ අතර, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ඕනෑම ආකාරයක ආක්‍රමණශීලී අභිලාෂයක් සහමුලින්ම මැඩපැවැත්වීමේ පූර්ණ හැකියාව සහ ශක්තිය පකිස්ථාන සන්නද්ධ හමුදාවන් සතු වන බවයි.

Share