වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා ලබාදෙන ඔන්ඩන්සෙට්රෝන් නැමති ඖෂධය ලබා දීමෙන් පසු මහනුවර සහ කොළඹ අයිඩීඑච් රෝහල්වලදී රෝගීන් දෙදෙනක් මිය ගොස් ඇතැයි වාර්තා වනවා.
එම මරණවලට සෘජුවම ඖෂධයේ සම්බන්ධයක් ඇත්දැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවෙන් පරීක්ෂණ අවසන් වන තුරු අදාළ ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට උපදෙස් ලබා දුන් බවයි.
ඔන්ඩන්සෙට්රෝන් වමනය සහ ඒ සමග මතුවන සංකූලතා වැළැක්වීමට වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබා දෙන ඖෂධයක්.
කෙසේ වෙතත් පසුගිය දා මහනුවර ජාතික රෝහලේ දී කළ රසායනාගර පරීක්ෂාවක දී එම ඖෂධයේ විෂබීජ ඇති බවට සැකයක් ඇති වී තිබෙනවා.
එලෙස ඖෂධය පරික්ෂාවට ලක් කර ඇත්තේ ප්‍රතිකාර ලැබූ රෝගීන් කිහිප දෙනෙකුට සංකූලතා මතු වීම හේතුවෙන්.
ඒ අනුව අදාළ ඖෂධයේ කාණ්ඩ 4ක් වහාම භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සියලු රජයේ සහ පෞද්ගලික රෝහල් වෙත දැනුම් දී තිබුණා.
මෙම ඖෂධය මෙරටට ගෙන්වා ඇත්තේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේයි.
ජාතික ඖෂධ නියාමන අධීකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දෙන්නේ සැක සහිත සංකූලතා මතුකළ ඖෂධය සම්බන්ධයෙන් කෙරෙන පූර්ණ පරීක්ෂණයකින් පසු ම ඖෂධය භාවිතය සම්බන්ධයෙන් තීරණය කෙරෙනු ඇති බවයි.
මේ අතර ඖෂධ කුප්පි තුළ වීදුරු කැබලි හා කැට කැබලි තිබීම හේතුවෙන් පසුගිය වසරේ මැයි මාසයේදී ඖෂධ නියාමන අධිකාරිය විසින් තාවකාලිකව භාවිතාවෙන් ඉවත් කළ කෝ ඇමොක්සික්ලේව් නැමැති ඖෂධය නැවත වරක් භාවිතයට ගන්නා ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස් විසින් සියලු රෝහල් වෙත උපදෙස් ලබා දී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙනවා.
භාවිතයට ගැනීමට නිර්දේශ කර ඇති මෙම ඖෂධයේ ඉහත ඛාණ්ඩ මෙම වසරේ සැප්තැම්බර් මස වන විටත් කල් ඉකුත් වී ඇති බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ





