ඔන්ඩන්සෙට්රෝන් ගැන පරීක්ෂණ

ඉන්දීය ඔන්ඩන්සෙට්රෝන් ඖෂධය ලබාදීමෙන් පසු කොළඹ අයිඩීඑච් රෝහලේදී සිදුවූ සැක සහිත රෝගී මරණ දෙක සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
එසේම එම මරණවලට පෙර අදාළ රෝගීන්ට ලබාදී ඇති මෙම ඖෂධය සම්බන්ධයෙන් ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඔන්ඩන්සෙට්රෝන් යනු ශල්‍යකර්මවලට යොමු කෙරෙන රෝගීන්ට නිර්වින්දන ක්‍රියාවලිය තුළ ඇතිවන වමනය, ඔක්කාරය වැනි අතුරු ආබාධ වැළැක්වීම සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඛාණ්ඩයට අයත් ඖෂධයක්.
පසුගිය දිනවල කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුලත් වූ කාන්තාවන් දෙදෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් තිබූනා.
එම රෝගීන් දෙදෙනාට ම ඔන්ඩන්සෙට්රෝන් ඖෂධය ලබාදී තිබූ බැවින් එම රෝගීන්ගේ මරණයට හේතුව අදාළ ඖෂධය විය හැකි බවට සැක මතුවී තිබුණා
මේ අතර පසුගිය දා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට ද මෙම ඖෂධය ලබාදීමෙන් පසු සංකූලතා මතුවීමත් සමග මහනුවර ජාතික රෝහල මෙම ඖෂධය සම්බන්ධයෙන් කළ රසායනාගාර පරීක්ෂාවක දී එම ඖෂධයේ විෂබීජ ඇති බවට අනාවරණ වී තිබුණා.
ඒ අනුව අදාළ ඖෂධයේ කාණ්ඩ 4ක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙසයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පසුගිය දා රජයේ සියලු රෝහල් වෙත උපදෙස් නිකුත් කළේ.
මෙම ඖෂධ තොගය මෙරටට ගෙන්වා තිබුණේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේයි.
එසේම මෑතකදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් තැබූ ගිවිසුම යටතේ ඉන්දීය රජයේ ඖෂධ ප්‍රමිති නියාමන ආයතනය විසින් අනුමත කරන ඖෂධ මෙරට දී නැවත ප්‍රමිති පරීක්ෂාවකට ලක් නොකෙරෙන බැවින් ද බාළ බෙහෙත් යළි මෙරට සෞඛ්‍ය සේවාවට රිංගා ගැනීම මෙම සිදුවීමෙන් ඉස්මතුවන බවටයි ඇතැම් පාර්ශ්ව චෝදනා කළේ.
කෙසේ නමුත් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ මතභේදාත්මක මෙම ඖෂධය මෙරටට සැපයීමට ලියාපදිංචි වී ඇති සියලු සමාගම් එම ඖෂධය අමෙරිකානු ප්‍රමිතිය සහිතව මෙරටට සැපයීමට ලියාපදංචි වී ඇති බවයි.

මේ අතර පසුගිය දා රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ ඖෂධ ලියාපදිංචියේ දී ඉන්දියානු ප්‍රමිති සහතිකය ලත් ඖෂධ නැවත ශ්‍රී ලංකාවේදී පරීක්ෂාවට ලක් කෙරෙන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධාන පරාමිතීන්ට අනුව ඖෂධයක ප්‍රමිතිය නිර්ණය කිරීමට ප්‍රමාණවත් පරීක්ෂණාගාර පහසුකම් ශ්‍රී ලංකාවට නොමැති වීම මෙම ගැටලුවට මුල්වන බවයි.
එබවින් වහාම මෙම සැක සහිත ඖෂධ සම්බනධයෙන් විමර්ශනය කර ජනතාව මෙරට සෞඛ්‍ය සේවාව පිළිබඳ තබා ඇති විශ්වාසය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

Share