ඓතිහාසික කඩඉමක් පසුකළ ඔරායන්

අද ලෝකයේම අවධානය යොමු වී ඇත්තේ, අඩ සියවසකට වැඩි කාලයකට පසු චන්ද්‍රයාට සමීපව සිදු කිරීමට නියමිත මානව පියාසැරිය පිළිබඳවයි.
මෙහිදී පළමුවරට සඳේ අඳුරු පැත්ත ප්‍රථමවරට පියැවි ඇසින් නිරීක්ෂණයට ආටෙමිස් ගගනගාමීන් සිව්දෙනාට හැකි වනු ඇති අතර
ඔවුන් රැගත් ඔරායන් යානය මේ වන විට චන්ද්‍ර ගුරුත්ව කලාපයට ඇතුළුවී තිබෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.47 ට ආරම්භ වන ඓතිහාසික චන්ද්‍ර සමීප පියාසැරිය Netflix ඔස්සේ ද සජීවීව විකාශය කෙරෙනවා.

නාසා “Artemis II ” මෙහෙයුම, දශක පහකට වැඩි කාලයකට පමණ පසු මිනිසුන් සඳ ආසන්නයටම යන පළමු අවස්ථාව වන බැවින් ලොව පුරා දැඩි උනන්දුවක් මේ කෙරෙහි යොමු වී තිබෙනවා.
ඇමරිකානු වේලාවෙන් අලුයම 12:37ට ඔරායන් යානය නිල වශයෙන් චන්ද්‍ර ගුරුත්ව කලාපයට ඇතුලු වුණා.
මේ වන විට පූර්ණ නින්දක සිටින ඔරායන් යානයේ ගගනගාමීන් කණ්ඩායම, සිය 6 වන පියාසර දිනය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 8:20 ට අවදි වීමට නියමිතයි.
මුළු ලෝකයේම අවධානය දිනාගන්නා ඓතිහාසික චන්ද්‍ර සමීප පියාසැරිය මෙරට වේලාවෙන් අද රාත්‍රී 11යි 47ට ආරම්භ වනවා.
එය නාසා වෙබ් අඩවිය ඔස්සේ පමණක් නොව YouTube, Amazon සහ Netflix ඔස්සේ ද සජීවීව විකාශය කෙරෙනු ඇති.
සමීප පියාසැරියේ දී ගගනගාමීන්ට ඡායාරූප ගැනීමට සහ නිරීක්ෂණය කිරීමට ආවාට සහ කඳුවැටි 35ක නිශ්චිත ලැයිස්තුවක් ලබා දී තිබෙනවා.
ඔවුන් මේ සඳහා භාවිත කරන්නේ අධි-විභේදන Nikon D5 කැමරා දෙකක් සහ එක් අතිනවීන Mirrorless Nikon Z9 කැමරාවක්.
පැය 5ක් පුරා දිවෙන මේ නිරීක්ෂණ අදියරේදී මුලින්ම රීඩ් සහ ජෙරමි කවුළු අසලට වී ඡායාරූප ගන්නා අතර වික්ටර් සහ ක්‍රිස්ටිනා ඔවුන්ට සහාය වෙමින් දත්ත සටහන් කරගැනීමට නියමිතයි.
පැයකට පසු ඔවුන් විසින් රාජකාරි මාරු කරගනු ලබනවා.
යානය සඳ පිටුපසින් ගොස් පෘථිවිය සමග සන්නිවේදනය බිඳ වැටීමෙන් පැයකට පමණ පසු අතිශය දුර්ලභ සංසිද්ධියක් සිදුවනවා.
එනම්, ඔරායන් යානයේ කවුළුවෙන් බලන විට සූර්යයා සම්පූර්ණයෙන්ම සඳට මුවා වී මිනිත්තු 53ක පූර්ණ සූර්යග්‍රහණයක් ඇතිවීමයි.
පෘථිවියේදී මෙන් වායුගෝලීය බාධා නොමැති නිසා, මෙහිදී සූර්යයාගේ පිටත වායුගෝලය වන කොරෝනාව සහ බුධ, සිකුරු, අඟහරු සහ සෙනසුරු යන ග්‍රහලෝක සියල්ලම අඳුරු අභ්‍යවකාශයේ තියුණුව බැබළෙන අයුරු ගගනගාමීන්ට දැකගත හැකිවනු ඇති.
සන්නිවේදනය නොමැති අඳුරු මිනිත්තු 40 ගෙවා දමා, යානය සඳ පිටුපසින් මතුවී නැවතත් නිල් පැහැති පෘථිවිය පෙනීම ආරම්භ වන පෘථිවි උදාව 1968 දී ඇපලෝ 8 යානයෙන් දුටුවාටත් වඩා අලංකාර වනු ඇතැයි සැලකෙනවා.
මෙම මොහොතේදී ගගනගාමීන්ට පෘථිවියේ මුහුණත ලෙස දර්ශනය වන්නේ ආසියාව, අප්‍රිකාව සහ ඕෂනියා කලාපයයි.
මෙහිදී අභ්‍යාවකශ විද්‍යාවේ නව වාර්තා කිහිපයක් ද බිහිවනවා.
ඇමරිකානු වේලාවෙන් අප්‍රේල් 6 පස්වරු 2.00 ට පමණ ආටෙමිස් II යානය, 1970 දී ඇපලෝ 13 යානය පිහිටවූ පෘථිවියේ සිට මිනිසුන් ගිය උපරිම දුර වන සැතපුම් 248,655 සීමාව පසු කර වසර 50කට පසු නව ලෝක වාර්තාවක් තබනු ඇති.
පස්වරු 7:07 ට යානය පෘථිවියේ සිට සැතපුම් 252,760ක් ඈතින් පිහිටන අතර එය මානව ඉතිහාසයේ මිනිසෙකු පෘථිවියෙන් ඈතට ගිය උපරිම දුර වනවා.
මෙය ඇපලෝ 13 ට වඩා සැතපුම් 4,105ක් ඈතින් පිහිටීමක්.

Share