එංගලන්ත තරගාවලියෙන් කුසල් සහ නුවන් තුෂාර ඉවතට – ලහිරු හා චමීරට ආබාධ

T20 ලෝක කුසලානයට පෙර සූදානමක් ලෙස සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 බැගින් සමන්විත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ලබන 22 වැනිදා ආරම්භ වනවා.
පසුගිය දා නිමා වූ පාකිස්තාන ක්‍රිකට් තරග සංචාරයට නම් කළ සංචිතයේ වෙනස්කම් කිහිපයක් සමගින් එංගලන්තය සමග තරගාවලියට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.
එක්දින තරගාවලියේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංකට හිමිවනු ඇති අතර ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ , ප්‍රමෝද් මදුශාන් සහ මිලාන් රත්නායක සංචිතයට කැඳවා ඇතිබව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.
වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් එක්දින තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර එංගලන්තය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ සිට නැවත ජාතික කන්ඩායම සමඟ එක්වීමට නියමිතයි.
කලකට පසු එක්දින සංචිතයට කැදවීමක් සිදු කළ ලහිරු කුමාරද, පුහුණු සැසියක් අතර ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුටද එංගලන්ත තරගාවලිය අහිමි වනවා.
ලහිරු කුමාර වෙනුවට සංචිතයට කැඳවා ඇත්තේ එශාන් මාලිංගයි.
මීට අමතරව එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් කුසල් ජනිත් පෙරේරා සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ඉවත් කර ඇති බව වාර්තා වනවා.
ඒ විස්සයි20 ලෝක කුසලානය සඳහා ජාතික කණ්ඩායමට ද ඔවුන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවක් ඇති කරමින්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.
තරගාවලියට එක්වන එංගලන්ත කණ්ඩායම හෙට මෙරටට පැමිණීමට නියමිතයි.
මේ අතර එංගලන්ත තරග සංචාරයට අදාල ප්‍රවේශපත්‍ර ලබන 20 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද තරග පැවැත්වෙන දිනයන් හී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රවේශ පත්‍ර කවුන්ටරයෙන්ද ලබා ගත හැකියි.

Share