ඌෂ්ණාධික කාලගුණය අප්‍රේල් 1 වැනිදායින් පසු අඩුවන ලකුණු

ඌෂ්ණාධික කාලගුණය අප්‍රේල් 1 වැනිදායින් පසු අඩුවන ලකුණු

හිරු එළිය යහමින් ලැබෙන ඝර්ම කලාපීය රටක ඉපදුණ ලාංකිකයින්ට මාර්තු අප්‍රේල් මාසවල දැනෙන රස්නය අලුත් දෙයක් නොවෙයි.
නමුත් ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිය, ජනගහණ ඝනත්වය වැඩිවුණ වර්තමාන වටපිටාවේ රස්නයත් විද්‍යාත්මකව තේරුම්ගෙන විද්‍යත්මකව මුහුණදීමයි සිදුවිය යුත්තේ.
මේ දිනවල අපට මුහුණදීමට සිදුව ඇති තද උෂ්ණත්වයේ අහිතකර බලපෑම් අවම කරගැනීමේ වැදගත්කම සහ ඒ් සඳහා වන උපාය උපක්‍රම ගැනයි මේ විශේෂාංගය.

මාර්තු අප්‍රේල් මාසවල ශ්‍රී ලංකාවට බලපවත්වන්නේ අන්තර් මෝසම් කාලගුණයක් බව තමයි කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ.
ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වෙන, ප්‍රධාන මෝසම් කාල දෙක අතර, සංවහනයෙන් පමණක් වැසි ලැබෙන, සුළගේ ආර්ද්‍රතාවය හෙවත් ජලවාෂ්ප ප්‍රමාණය අවම වුණ කාලයක් ලෙස කාලගුණික වශයෙන් මාර්තු අප්‍රේල් මාස ගෙවී යනවා.
මේ අධික රස්නය ඉවර වෙන්නේ කවද්ද?
නමුත් කෘෂිකර්මාන්තය මුල්කරගත් රටක් වුණු ශ්‍රී ලංකාවේ ඒ ආශ්‍රිත ඉතා බරසාර වැඩ කොටසක් මේ මාසවලදී යෙදිලා තිබෙනවා.
මහකන්නයේ වී අස්වනු නෙලා, වේලා අටු කොටු පුරවා ගැනීමත්, යල කන්නය සඳහා බිම් සකස්කර වගාවට සූදානම් කිරීමත් කෙරෙන්නේ මාර්තු අප්‍රේල් මාසවල.
ඒ නිසා කෘෂිකර්මාන්තය ආශ්‍රිතව ජීවත්වෙන කිසිවෙකුට අධික රස්නයක් පවතින මේ මාසවල හෙවණකට වෙලා ඉන්න බැහැ.
ඒ වගේම පාසල් දරුවන්ගේ පැත්තෙන් බැලුවොත් ඔවුන්ගේ පාසල් ජීවිතවල වටිනාම කාලය රැඳිල තියෙන්නේ මේ මාසවල.
ඒකට හේතුව පාසල්වල විභාග ඉලක්ක කරගත් අධ්‍යාපනයෙන් පරිබාහිරව සංවිධානය කෙරෙන සියලුම බාහිර ක්‍රියාකාරකම් පලමු පාසල් වාරයේ අවසානයේ යෙදී තිබීමයි.
ඒ අනුව නිවාසාන්තර ක්‍රීඩා තරග, අන්තර් පාසල් ක්‍රිකට් තරග ඇතුළු එළිමහන් ක්‍රියාකාරකම් බොහොමයක් සංවිධානය වෙන්නේ මේ දිනවල.
ඒ විතරක් නෙවෙයි ලාංකිකයින් හැටියට අපි සමරන ප්‍රධානතම සංස්කෘතික උළෙලක් වන සිංහල දෙමළ අලුත් අවුරුද්ද යෙදෙන්නෙත් මේ කාලයට.
අධික රස්නයෙන් ජීවිතයට අනතුරක් කර නොගෙන මේ වැඩකටයුතු කර ගන්නේ කොහොමද?
මේ අධික රස්නය සහිත කාලයේ වැඩිපුර වතුර බොන්න, නිතර ස්නානය කරන්න කියල අපිට උපදෙස් ලැබුණත්, වතුර කියන්නෙත් මේ කාලයේ හිඟ සම්පතක්.
ඒ නිසා අපතේ නොයවා ජලය අපි භාවිත කළ යුත්තේ අරපරිස්සමින්.

Share