උසස් පෙළේ හපන්නු

2025 වසරේ පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව “ඒ” සාමර්ථ තුනක් ලබාගත් අපේක්ෂකයින් 8,300 දෙනෙකු සිටින බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා.
එම පිරිස අතරට පාසල් අයදුම්කරුවන් 7,477ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 823ක් ඇතුළත් වන බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළා.

එසේම මෙවර, වැඩිම සිසුන් සංඛ්‍යාවක් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබා සිටින්නේ බස්නාහිර පළාතෙන් වන අතර එය 69.42%ක ප්‍රතිශතයක්

2025 උසස් පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වුණු අතර ඒ සඳහා අයදුම්කරුවන් 281,810ක් පෙනී සිටියා
ඒ අතර පාසල් අයදුම්කරුවන් 221,413ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 60,397ක් සිටියා.
මෙවර උසස් පෙළ ප්‍රථිපළ අනුව විෂයන් තුනටම ඒ සාමාර්ථ ලබාගත් අපේක්ෂකයන් 8300 ක් ඇති අතර 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.
ඊට පාසල් අයදුම්කරුවන් 146,405ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 30,122ක් ඇතුළත් වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2025 වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව, ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිලාන් සංජන කරුණාරත්න සමත්ව තිබෙනවා.
මේ අතර, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ පෙෂාන් සසිදු නිම්සර ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය හිමිකර ගෙන ඇති අතර තෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ශ්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාලයේ දර්ශනා කෝනේෂ් නම් සිසුවියයි.

‍එසේම ජීව විද්‍යාව සඳහා පෙනී සිටි සිසුන්ගෙන් 58.43% ප්‍රතිශතයක් මෙවර විශ්වවිද්‍යාලය ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබෙනවා.

මේ අතර, භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කිලිනොච්චිය මහා විද්‍යාලයේ දේවේන්ද්‍රන් තිරුක්කුමාරන් සිසුවා හිමිකරගෙන ඇති අතර කුරුණෑගල මලියදේව විද්‍යාලයේ තරුෂ ගම්හාන ගම්ලත් දෙවන ස්ථානය ද, පානදුර ශ්‍රී සුමංගල පිරිමි මහා විද්‍යාලයේ විනුර ප්‍රසාද් ද මෙල් තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ,

එසේම, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් අනුජය වනිගසූරිය සිසුවා ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇති අතර දෙවන ස්ථානය මහව විජයබා ජාතික පාසලේ සිතිජ දුලාන් බණ්ඩාර හිමිකරගෙන ඇති අතර මතුගම සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයේ රිවින් වින්සර තෙවන ස්ථානය ලබා ගත්තා.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ඊෂානි මනෝදා සිසුවියටයි.

මෙම විශය ධාරාවේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉමාෂි විහංගා කන්දේආරච්චිට දෙවන ස්ථානයත්, ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ජයත්මා අමන්දි විජේසිංහට තෙවන ස්ථානයත් හිමිව තිබෙනවා.

එමෙන්ම, 2025 උසස් පෙළ විභාගයේ වානිජය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ මොහොමඩ් ෆර්තාන් සිසුවා හිමි කරගෙන ඇති අතර කොළඹ 7 මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සෙනාදි දිහස්නා සුමනරසේකර දෙවන ස්ථානයත්, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දිලීප සඳරැස් කරුණාරත්නට තෙවන ස්ථානයත් හිමිව තිබෙනවා.

මේ අතර, උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට කුරුණෑගල – වයඹ රාජකීය විද්‍යාලයේ අචින්ත රත්නායක සමත් වී ඇති අතර කොළඹ දේවිබාලිකා විද්‍යාලයේ ආලියා සෙයිනාබ් කුලුසීට දෙවන ස්ථානයත්, කොළඹ 7 මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෙතුසාරි දිනෙත්යා රණතුංග සිසුවියට තෙවන ස්ථානයත් හිමිව තිබෙනවා.
කොළඹ විභාග දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මෙලෙස අදහස් දක්වා සිටියා.

Share