නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට කරන බලපෑම් හේතුවෙන් උතුර සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම පළාත්වල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද මිලි මීටර් 50ට වැඩි වැසි ඇතිවනු ඇතැයි කාලගුණ අනාවැකියේ සඳහන්. අද දිනයේ දී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්.
පවතින වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් සෝමාවතිය සුන්ගවිල ප්‍රධාන මාර්ගය තවදුරටත් වසා දමා තිබෙනවා. මේ අතර බදුල්ල – පස්සර මාර්ගයේ වේවැස්ස ප්‍රදේශයට යළිත් පස් කඳු සහ ගල් පතිත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය එක් මං තීරුවකට සීමා කර ඇතැයි අප වාර්තාකරු පැවසුවා. පසුගියදා සිදු වූ නායයෑමකින් ඌව පරණගම මස්පන්න නගරයේ පස්වලින් යටවී තිබූ බස් රථ දෙකක් ඊයේ පස්වරුවේ ගොඩ ගැණුනා.
මේ අතර ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතුකොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇණ හිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන්, මාර්ග අවහිර වීම හේතුවෙන් හෝ ව්‍යසනයන්ගෙන් විපතට පත්වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩුව හිමිවනු ඇති.





