උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පවතින අධික වැසි තත්ත්වයත් සමග ඉදල්ගස්හින්න සහ ඔහිය අතර දී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
මේ හේතුවෙන් දුම්රිය එන්ජිම සහ මැදිරි කිහිපයක් පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමා කර ඇති අතර බදුල්ල සහ කොළඹ අතර අද දිනයේ දැනට දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිට ඉහළ මහවැලි ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිතව පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය සඳහා පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 6ක් අද අලුයම සිට විවෘත කෙරුණු බව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පවසනවා.

පැවති අධික වැසි තත්ත්වයත් සමග වැලිමඩ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රේන්දපොල මංසන්ධියේ සිට අඹේවෙල දක්වා ඇති මාර්ගයට පස් කන්දක් නාය යෑම හේතුවෙන් එහි ගමනා ගමන කටයුතු වලට බාධා එල්ල වුණා
මේ අතර වැසි තත්ත්වය වැඩි වුවහොත් ජාතික විභාග ආපදා කළමනාකරණ හදිසි සැලැස්ම අනුව කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මේ අතර අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආශ්‍රිතව පැවති අධික මීදුම් සහිත කාලගුණය හේතුවෙන් ගුවන් යානා තුනක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත හරවා යවා තිබෙනවා
එලෙස හරවා යැවුණේ මුම්බායි, රියාද් සහ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානා තුනක්.
මෙම තත්ත්වය තුළ කටුනායක සිට පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර කිහිපයක් ද ප්‍රමාද වී තිබෙනවා.

මේ අතර ලබන 22 වැනිදායින් පසුව පැවතිය හැකි අඩු පීඩන තත්ත්වයක් සමඟ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Share