අස්වනු නෙළීම ආරම්භ කර තිබියදීත් ආණ්ඩුව විසින් දේශීය අර්තාපල් සහ ලොකු ලුණූ ආනයනය කිරීමට ගත් තීරණය වහා හකුළා ගන්නා ලෙස ගොවි සංවිධාන පවසනවා.
එම තීරණය හකුළා නොගතහොත් සමස්ථ ගොවි ජනතාව අඛණ්ඩ විරෝධතාවකට යොමු කරන බවයි “දේශයේ ගොවි හඬ” සංවිධානය පවසන්නේ.
මේ අතර ඌව,පරණගම,වැලිමඩ ඇතුළු ප්‍රදේශ රැසක ගොවි ජනතාව කැප්පෙටිපොළ ආර්ථීක මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණේද දේශීය අර්තාපල් සහ ලොකු ලුණූ ආනයනය කිරීමට විරෝධය පළ කරමින්.
දේශීය අර්තාපල් සහ ලොකු ලුණූ අස්වනු නෙළීම මේවන විට ආරම්භ කර තිබෙනවා.
නමුත් සිය අස්වැන්නට නිසි මිලක් නොමැති බවටයි ගොවීන් චෝදනා කරන්නේ.
ගොවීන් චෝදනා කරන්නේ අස්වනු නෙළන සමයේ දී ආණ්ඩුව විසින් අර්තාපල් සහ ලොකු ලුණූ ආනයනය කිරීම හේතුවෙන් දේශීය ගොවියා අසරණ වන බවටයි.
ඒ හේතුවෙන් අද දිනයේදී උඩරට ගොවීන් කෘෂිකාර්මික කටයුතුවලින් ඉවත්ව සිය නිෂ්පාදන වෙළඳපොලට නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹුනා.
ඒ අනුව “දේශයේ ගොවි හඬ” සංවිධානය කැප්පෙටිපොළ ආර්ථීක මධ්‍යස්ථානය ඉදිරිපිට සංවිධානය කල විරෝධතාවට ඌව පරණගම, වැලිමඩ ඇතුළු ප්‍රදේශ රැසක ගොවි ජනතාව එක්ව සිටියා.
අප වාර්තාකරු සඳහන් කළේ අද දිනයේදී කැප්පෙටිපොළ ආර්ථීක මධ්‍යස්ථානයට ගොවි නිෂ්පාදනය රැගෙන නො ඒම හේතුවෙන් එහි ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබූ බවයි.
කෙසේ වෙතත් දඹුල්ල අප වාර්තාකරු සඳහන් කළේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද දිනයේදී සාමාන්‍ය පරිදි විවෘතව පැවතුණ බවයි.
ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ ගොවීන් පවසා සිටියේ මිලෙහි යම්කිසි පහළ බැසීමක් නිසා තමන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා තිබෙන බවයි.
මේ අතර තඹුත්තේගම ආර්ථීක මධ්‍යස්ථානයේ සභාපතිවරයා පැවසුවේ වර්ජනය සඳහා ගොවීන් සහය ඉල්ලා සිටින්නේනම් ඊට සහය ලබාදෙන බවයි.





