ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයෙන් පරිභාහිරවයි. ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ දක්නට ලැබෙන තියුණු උච්චාවචනයන් හමුවේ ශ්‍රී ලංකාව මෙම තීරණය ගෙන තිබෙනවා. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙලෙස ඉන්ධන මිල වැඩි කළේ රට තුළ දින 40කට ආසන්න කාලයකට ප්‍රමාණවත් සංචිත ඇති බව ප්‍රකශ කර සතියකට පසුවයි.
මැදපෙරදිග යුධමය වාතාවරණය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ඇති වු සැපයුම් අවිනිශ්චිතතා හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල පසුගිය දින කිහිපය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණා. සඳුදා වෙළෙඳපොළ පළමු සැසියේදී බොරතෙල් බැරලයක් 2022 වසරෙන් පසු පළමුවරට ඩොලර් 119 දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඊයේ දිනය අවසන් වන විට එම මිල ඩොලර් 100 ට ආසන්න සීමාවක ස්ථාවර වුණා. ඒ අනුව එක්සත් ජනපද WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 103.06ක් ලෙස සටහන්ව තිබූ අතර බ්‍රෙන්ට් බොරතෙල් මිල දැක්වුණේ අමරිකානු ඩොලර් 105.71 ක් ලෙසයි. නමුත් එය වසර තුනකට පසු බොරතෙල් සඳහා වාර්තා වූ ඉහළම මිලයි. කෙසේ වෙතත් ඉරානය සමග යුද්ධය කඩිනමින් අවසන් වනු ඇති බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉඟි කිරීමත් සමග යුද්ධය ආරම්භ වීමෙන් පසු පළමුවරට ගෝලීය ඉන්ධන මිල ගණන් අද පහළ ගියා. ඒ අනුව අද පෙරවරු 9.30 වන විට WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 90.19 ක් ලෙස සටහන්ව තිබූ අතර එය සියයට 4.83 ක අඩු වීමක්. එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් මිල දැක්වුණේ අමරිකානු ඩොලර් 94.16 ක් ලෙසයි. එය සියයට 4.85 ක අඩු වීමක්. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ නංවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ මෙවන් පසුබිමකයි. මෙම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සමානව IOC , සිනොපෙක් , RM PARKS යන සමාගම්ද ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303ක්. සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ නංවනු ලැබ ඇත්තේ රුපියල් 24කින්. එහි නව මිල රුපියල් 353ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා තිබෙනවා. එහි නව මිල වන්නේ, රුපියල් 365ක්. රුපියල් 24කින් ඉහළ දමා ඇති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 317ක් වනවා. ලංකා භූමිතෙල් මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 13කින්. මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වූ පෙබරවාරි 28 වැනිදා සිට මෙරට ජනතාව ක්ෂණික මිලදී ගැනීම් සඳහා පෙළඹීමත් සමග රට තුළ ඉන්ධන පෝලිම් පවා නිර්මාණය වුණා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ රට තුළ ඉන්ධන අර්බුදයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බවයි. ඒ අනුව අතිරේක සැපයුම් වෙළෙඳපොළට නිකුත් කළ අතර දින දෙකක් වැනි කාලයක් තුළ පෝලිම් අවසන් වුණා. ඒ අතරතුර පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රට තුළ පවතින ඉන්ධන සංචිතය සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන මෙන්ම ඉදිරියේදී රටට ලැබීමට නියමිත ඉන්ධන තොග සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළා.
පසුගිය 3 වැනිදා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කළේ හදිසි ඉන්ධන මිල සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි. මෙම ඉන්ධන මිල ඉහළ නැංවීමට සමගාමීව බස් ගාස්තු ඉහල නැංවිය යුතු බව පෞද්ගලික බස් හිමිකරුවන් රජයට බල කරනවා. කෙසේ වෙතත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවසුවේ මේ අවස්ථාවේ දී ගාස්තු සංශෝධනයක් නොකරන බවයි.
නමුත් කුලී ත්‍රි රෝද රථ සහ පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇත්තේ ද විමතිය මුසු කනස්සලක් මෙන්ම විරෝධයක්.





