ඉරාන් වික්‍රමරත්නට පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස සමගි ජනබලවේගය දැනුම් දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ලෙස පත් කෙරුණු ඉරාන් වික්‍රමරත්නට පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස සමගි ජනබලවේගය දැනුම් දී තිබෙනවා.

වික්‍රමරත්න පක්ෂයේ තනතුරුවලින් ඉල්ලා අස්වීම පිළිගනිමින් මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යොමු කළ ලිපියක මේ බව සඳහන්.

වසර හතක් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය හෙබවූ ෂම්මි සිල්වා සහ විධායක කමිටුව ඊයේ ඉල්ලා අස්වුණා.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත්කරනු ලැබුවේ සමගි ජනබලවේගයේ හිටපු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.

මෙම පත්වීමත් සමග ඉරාන් වික්‍රමරත්න සමගි ජනබලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවෙන් සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එම ඉල්ලා අස්වීම භාර ගනිමින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් යොමු කළ ලිපියේ සඳහන් වන්නේ
සෑම අවස්ථාවකදීම පක්ෂයේ ප්‍රතිපත්තිය වූයේ සියළුම ක්‍රීඩා සංගම් නිර්දේශපාලනය විය යුතු බවත්, එහි තනතුරු දේශපාලනයට සම්බන්ධ අය විසින් නොදැරිය යුතු බවත්ය.

තවදුරටත් සිය පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම පක්ෂ ප්‍රතිපත්තියට පටහැනි බැවින් සදාචාරාත්මකව කළ යුතු වන්නේ, පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වීම බව මහලේකම්වරයා පවසනවා.

ඒ අනුව එසේ කටයුතු කරන ලෙසත් අදාල ලිපියෙන් ඉරාන් වික්‍රමරත්නට දැනුම් දී තිබෙනවා.

⁣මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනස් වීම සම්බන්ධයෙන් ප්‍රසාදය පල කරමින් පිරිසක් ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පැමිණියා.

Share