ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ගනිමින් සිව්වැනිවරටත් ප්‍රහාර

ඉරානයේ බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ගනිමින් ඔපරේෂන් එපික් ෆියුරි තුළ සිව්වැනිවරටත් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාරයෙන් එහි සේවකයෙකු මියගොස් ඇති බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය තහවුරු කළා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික පරීක්ෂණ ආයතනය සිය දැඩි කනස්සල්ල පළ කර ඇති අතර න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිසිසේත්ම යුද ඉලක්ක නොවිය යුතු බව යළි අවධාරණය කරනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දරුණු යුද ගැටුම් ආරම්භ වූ දින සිට මේ දක්වා තුවාල ලැබූ ඊශ්‍රායල වැසියන් 6771 දෙනෙකු රෝහල්ගත කර ඇති බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කළා.
අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම පිරිස අතරින් 134 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතළ බව සඳහන්. ඊශ්‍රායල රජය පවසන්නේ එරට සෞඛ්‍ය පද්ධතිය මේ වන විට යුදමය හදිසි තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක වන බවයි

මේ අතර 2020 වසරේදී අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රබල හමුදාපතිවරයකු වූ ජෙනරාල් කාසෙම් සොලෙයිමානිගේ සහෝදරියකගේ දියණියක් සහ මිණිබිරියක් අමෙරිකානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ හමීඩේ සොලෙයිමානි අෆ්ෂාර් සහ ඇගේ දියණියට ලබා දී තිබූ අමෙරිකානු ස්ථිර පදිංචි බලපත්‍ර අවලංගු කිරීමට එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පියවර ගෙන ඇති බවයි.
ඔවුන් දෙදෙනා මේ වන විට අමෙරිකානු ආගමන හා රේගු බලාත්මක කිරීමේ ආයතනයේ භාරයේ පසුවන අතර ඔවුන්ව එරටින් පිටුවහල් කිරීමට නියමිතයි.
‍කෙසේ වෙතත්, සොලෙයිමානිගේ දියණිය මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට සිය පියා සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ කාන්තාව 2015 වසරේදී සංචාරක වීසා මත අමෙරිකාවට පැමිණ, පසුව 2019 දී දේශපාලන රැකවරණ ලබාගෙන, 2021 වසරේදී ග්‍රීන් කාඩ්පතක් ලබාගෙන ඇති බවයි.

Share