අද දින ටෙහෙරාන් වේලාවෙන් රාත්‍රී 8 පෙර මැදපෙරදිග කලාපයේ පිහිටි ඇපල්, මයික්‍රොසොෆ්ට්, ගූගල්, මෙටා, ටෙස්ලා සහ බෝයිං ඇතුළු ප්‍රමුඛ පෙළේ ඇමරිකානු සමාගම් 17ක් කාර්යාලවල සේවකයන්ට වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙසට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කර තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ තම රටේ නායකයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ඝාතන මෙහෙයුම් සඳහා ඇමරිකානු තාක්ෂණික සමාගම් සහ කෘතිම බුද්ධිය භාවිතා කිරිමයි.
මේ අතර ඉරානය මේ වන විට යුද්ධයෙන් පරාජය වෙමින් සිටින බවත් තවත් සති දෙකක් හෝ තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ඇමරිකානු හමුදා ඉරානයෙන් ඉවත් කරගන්නා බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඕවල් කාර්යාලයේ සිට අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ඉරානය සමඟ ගිවිසුමකට එළැඹීම දැන් අදාළ නොවන බවයි.
ඉරානයට තවත් වසර ගණනාවකට පරමාණුක අවියක් නිපදවීමට නොහැකි බව තහවුරු වූ වහාම ඇමරිකාව එරටින් පිටවන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහි දි ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර බ්‍රිතාන්‍යය ඇතුළු සෙසු රටවලට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියෙන් තමන්ට අවශ්‍ය තෙල් ලබා ගැනීමට ඒ ඒ රටවල් තනිවම සටන් කළ යුතු බවයි.
ඇමරිකාව තවදුරටත් අනෙකුත් රටවල ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිටින බවත් තමන් වෙනුවෙන් සටන් කිරීමට ලෝකයා දැන් ඉගෙන ගත යුතු බවත් ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහන් තබමින් සදහන් කර තිබෙනවා.
මේ අතර තම රටට නැවත ප්‍රහාර එල්ල නොවන බවට නිසි සහතිකයක් ලැබෙන්නේ නම් වර්තමාන යුද ගැටුම් නැවැත්වීමට ඉරානය සූදානම් බව එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කළා.
යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා සමඟ පැවැති සාකච්ඡාවකදීයි ඔහු මේ බව පවසා ඇත්තේ.
ඉරානය කිසිවිටකත් යුද්ධයක් හෝ අනවශ්‍ය ආතතියක් අපේක්ෂා නොකළ බවද මෙහිදී යුරෝපීය කවුන්සිලයේ සභාපතිවරයාට පවසා තිබෙනවා.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය කොන්දේසි සපුරාලන්නේ නම් සහ නැවත ආක්‍රමණයක් සිදු නොවන බවට ජාත්‍යන්තර සහතිකයක් ලැබෙන්නේ නම් මෙම විනාශකාරී යුද්ධය අවසන් කිරීමට ඉරානයට ශක්තිමත් අධිෂ්ඨානය ඇති බවයි.
කෙසේ වෙතත් යුරෝපා සංගමය ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අනුගමනය කරන මෘදු පිළිවෙත ඉරාන ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
ඔහු එහිදී යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තාට පවසා ඇත්තේ ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූලව යුරෝපා සංගමය සිය ස්ථාවරය සකස් කරගත යුතු බවටයි.
මේ අතර මින් ඉදිරියට ඇපල්, මයික්‍රොසොෆ්ට්, ගූගල්, මෙටා, ටෙස්ලා සහ බෝයිං ඇතුළු ප්‍රමුඛ පෙළේ ඇමරිකානු සමාගම් 17ක් තම හමුදාවන්ගේ ඉලක්ක බවට පත්වනු ඇති බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කර තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ තම රටේ නායකයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ඝාතන මෙහෙයුම් සඳහා ඇමරිකානු තාක්ෂණික සමාගම් සහ කෘතිම බුද්ධිය භාවිතා කිරිමයි.
මේ අතර මෙම සමාගම්වල මැදපෙරදිග කලාපයේ පිහිටි කාර්යාලවල සේවකයන්ට වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙස ද ඉරානය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අද දින ටෙහෙරාන් වේලාවෙන් රාත්‍රී 8 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සමාගම්වල ඒකක විනාශ කිරීමට බලාපොරොත්තු වන බව ඉරානය පවසන අතර එම කාර්යාල අසල පදිංචි වැසියන්ට ද ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසටයි උපදෙස් දී ඇත්තේ.
මීට අමතරව අයිබීඑම්, ඉන්ටෙල්, එච්පී සහ ජේපී මොර්ගන් වැනි මූල්‍ය සහ තාක්ෂණික ආයතන ද ඉරානයේ මෙම තර්ජනයට ලක් වූ ලැයිස්තුවට ඇතුළත්.
මේ අතර කුවේට් රාජ්‍යයේ ස්ථාපිත කර ඇති අමෙරිකානු හමුදා කඳවුරුවල සිට ඉරානය ඉලක්ක කරගනිමින් දිගුදුර මිසයිල ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම මිසයිල ප්‍රහාර මාලාව ඉරානයේ උපායමාර්ගික හමුදා මධ්‍යස්ථාන සහ බලශක්ති මර්මස්ථාන ඉලක්ක කරගෙන ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.
මෙය ඉරානය විසින් පසුගිය දිනවල සිදුකළ ක්‍රියාවන්ට ප්‍රතිචාරයක් ලෙස අමෙරිකාව විසින් දියත් කළ “තීරණාත්මක මෙහෙයුමක්” ලෙස සැලකේ.
ලෙබනනයේ බීරූට් අගනුවර දකුණු දිග තදාසන්න ප්‍රදේශයක පිහිටි බහුවිධ මහල් නිවාස සංකීර්ණයක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සහමුලින්ම විනාශ වී තිබෙනවා.
මෙම ප්‍රහාරය, හිස්බුල්ලා සංවිධානයේ ප්‍රබල මධ්‍යස්ථානයක් වන දාහියේ දිස්ත්‍රික්කය ඉලක්ක කරගත් එකක් බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉරාකයේ බැග්ඩෑඩ් නුවර වාර්තාකරණයේ යෙදී සිටි ප්‍රකට ඇමෙරිකානු ස්වාධීන මාධ්‍යවේදිනී ෂෙලී කිට්ල්සන් සන්නද්ධ පිරිසක් විසින් පැහැර ගන්නා අයුරු දැක්වෙන විඩියෝ දර්ශන මේ වන විට මුදා හැර තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම පැහැර ගැනිම බැග්ඩෑඩ් නුවර සාදූන් වීදියේ පිහිටි හෝටලයක් අසලදීයි සිදුව ඇත්තේ.
කළු පැහැති ඇඳුමින් සැරසුණු සන්නද්ධ පිරිසක් විසින් ඇයව බලහත්කාරයෙන් රථයක පටවාගෙන යන අයුරු එම දර්ශනවල දැක්වෙනවා.
ඉරාක අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ද විදේශීය මාධ්‍යවේදිනියක පැහැරගෙන ඇති බව තහවුරු කර ඇති අතර, මෙම ක්‍රියාව “කාටයිබ් හිස්බුල්ලා” වැනි ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමක මැදිහත් වීමක් විය හැකි බවටයි සැක පළ කරන්නේ.
ඉරානය සහ ඇමරිකාව අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ආරක්ෂක රාජකාරි සහ මුරපොළවල් සඳහා වයස අවුරුදු 12ක පමණ කුඩා දරුවන් යොදාගැනීමට ඉරාන බලධාරීන් පියවර ගෙන ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.
පසුගියදා ටෙහෙරාන් නුවර ආරක්ෂක මුරපොළක පියෙකු සමඟ සේවය කරමින් සිටි 11 හැවිරිදි පාසල් සිසුවෙකු ගුවන් ප්‍රහාරයකින් මියයාමත් සමඟ මෙම අමානුෂික ක්‍රියාව ලොව පුරා දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය මේ වන විට වයස අවුරුදු 12න් ඉහළ ස්වේච්ඡා සේවකයන් බඳවා ගන්නා බව නිල වශයෙන් ද නිවේදනය කර ඇති අතර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ වයස අවුරුදු 15ට අඩු දරුවන් යුද කටයුතු සඳහා යොදාගැනීම බරපතල යුද අපරාධයක් බවයි.
මේ අතර ඉරාන ජාතිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සහ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා වෙනත් රටවලට ගමන් කිරීම ද වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.
ටර්කි ටුඩේ” Turkey Today සහ “ඉරාන් ඉන්ටර්නැෂනල්” Iran International වාර්තා කරන පරිදි, මෙම තහනම සංචාරක වීසා හිමියන්ට සහ දැනට එමීර් රාජ්‍යයේ වලංගු පදිංචි වීසා මෙන්ම “රන් වීසා හිමි ඉරාන ජාතිකයින්ට ද බලපැවැත්වේ.
මේ අනුව, දැනට එමීර් රාජ්‍යයෙන් බැහැරව සිටින ඉරාන ජාතික පදිංචිකරුවන්ට පවා යළි එරටට ඇතුළුවීමට අවසර නොලැබෙන අතර ඔවුන්ගේ වීසා බලපත්‍ර ද අවලංගු කර ඇති බව වාර්තා වෙනවා.
ඉරානය සමඟ පවතින දැඩි යුදමය නොසන්සුන්තාවය හමුවේ ඇමරිකානු නාවික හමුදාවට අයත් ප්‍රබලතම ප්‍රහාරක නෞකාවක් වන USS ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් නෞකාව වර්ජිනියා ප්‍රාන්තයේ නොර්ෆොක් වරායෙන් මැදපෙරදිග බලා යාත්‍රා කිරීම ආරම්භ කර තිබෙනවා.
ඉරානය සමඟ පවතින ගැටුම් තවදුරටත් තීව්‍ර වෙමින් පවතින පසුබිමක, කලාපය තුළ ඇමරිකානු යුද ශක්තිය තහවුරු කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි.
මෙම නෞකාව මැදපෙරදිගට ළඟා වීමත් සමඟ කලාපයේ ස්ථාපිත ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ යනු ඇත.
මේ අතර 2026 අප්‍රේල් 01 වනදාට යෙදී ඇති ඉරාන ඉස්ලාමීය ජනරජ දිනය සැමරීම වෙනුවෙන් එරට ප්‍රධාන නගර රැසක ඊයේ සහ අදත් රජයට පක්ෂපාතී දැවැන්ත ජන රැලි සහ පෙළපාලි පවත්වමින් සිටිනවා.
රජයේ ස්ථාවරභාවය සහ ජාතික සමගිය ලොවට ප්‍රදර්ශනය කිරීම මෙම සැමරුම්වල ප්‍රධාන අරමුණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර ඉරානය සමඟ පවතින විනාශකාරී යුද්ධය අවසන් කිරීම සඳහා කඩිනම් “පිවිසුම් මාර්ගයක්සොයාගන්නා ලෙස 14 වන ලියෝ පාප්වහන්සේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සෘජු ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ජාතිකයෙකු පාප් ධුරයට පත්වීමෙන් පසු, ඔහු සිය මව් රටේ නායකයා වෙත මෙලෙස සෘජු දේශපාලන ඇයදුමක් සිදුකිරීම අතිශය දුර්ලභ මෙන්ම තීරණාත්මක සිදුවීමක් ලෙසයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
ජනාධිපති ට්‍රම්ප් මෑතකදී යුද්ධය අවසන් කිරීමට කැමැත්තෙන් සිටින බවට පළ වූ වාර්තා තමන්ට අසන්නට ලැබුණු බවත්, එය හුදු ප්‍රකාශයකට පමණක් සීමා නොකර ප්‍රචණ්ඩත්වය අවම කරන සැබෑ මාවතක් බවට පත් කරගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් පාප්වහන්සේ මෙහිදී සඳහන් කර තිබෙනවා.
ඉරාන් ඉන්ටර්නැෂනල් වාර්තා කරන පරිදි, මෙම යුද්ධය හේතුවෙන් අහිංසක දරුවන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් මියයාම පිළිබඳව පාප්වහන්සේ සිය දැඩි කණගාටුව පළ කර තිබෙනවා.
උන්වහන්සේ ලෝක නායකයින්ගෙන් ඉල්ලා ඇත්තේ එළඹෙන අප්‍රේල් 05 වනදාට යෙදෙන පාස්කු ඉරිදා දිනට පෙර මෙම ගැටුම් නතර කර සාමය උදා කිරීමට පියවර ගන්නා ලෙසයි.





