ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් කණ්ඩායමට ලකුණු 65ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 65ක ජයක් ලබා ගැනීමට සන්රයිසස් කණ්ඩායම ඊයේ සමත් වුනා.
මෙවර තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය නිළ විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් නාළිකාවටයි.

කොල්කටා හී ඊඩන් ගාර්ඩ්න්ස් හී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 226ක් රැස්කර ගැනීමට සමත් වුණා.
තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 82ක සබඳතාවක් ගොඩ නැගුවා.
සන්රයිසස් ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ හෙන්රිච් ක්ලාසන් පන්දු 35ක් තුළදී ලකුණු 52ක් රැස්කර ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී බ්ලේසින් මුසරබානී කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා.
ලකුණු 227ක ඉලක්කයක් හඹා ගිය කොල්කටා කණ්ඩායමට පන්දුවාර 16ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 161ක් පමණයි.
කොල්කටා ඉණිම වෙනුවෙන් තනි සටනක නියැලුණු අංග්ක්‍රිෂ් රඝුවංශි පන්දු 29ක් තුළදී ලකුණු 52ක් රැස්කරගෙන සිටියදී දුවද්දී දවා ගැනීමට හසු කර ගැනීමට එශාන් මාලිංග සමත් වුණා.
රඝුවංශි හැරුණු විට තරමක සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වූයේ රිංකු සින්ග් සහ ෆින් ඇලන් පමණයි .
ඒ හැරුණු විට වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 15ක සීමාව පසු කිරීමට සන්රයිසස් පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
පන්දු යැවීමේදී ජයදේව් උනද්කට් කඩුළු 3ක් සහ එශාන් මාලිංග කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව තරගය ලකුණු 65කින් ජය ගැනීමට සන්රයිසස් කණ්ඩායම සමත් වුණා.
මෙය මෙවර IPL තරගාවලියේ සන්රයිසස් කණ්ඩායම ලද පළමු ජය වන අතර තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංග්ගලූරු කණ්ඩායම හමුවේ කඩුළු 6ක පරාජය විද ගැනීමට සන්රයිසස් කණ්ඩායමට සිදු වුණා.
තරගාවලියේ 7වැනි තරගය ලෙස චෙන්නායී සුපර් කිංග්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.30ට චෙන්නායී හීදී පැවැත්වීමට නියමිතයි.

Share