ක්‍රීඩාංගනයට එපිටින් වූ භු දේශපාලනික උණුසුම හැරෙන්නට කිසිදු උද්වේගයක් නොතිබූ තරගයකින් පාකිස්තානය ලකුණු 61කින් පරාජය කරන්නට ඉන්දියාව ඊයේ සමත් වුණා. ඒ අනුව තරගාවලියේ සම සත්කාරක ඉන්දියාව කල්වේලා ඇතිවම අයිසීසී T20 ලෝක කුසලාන තරගාවලියේ සුපර් එයිට් වටයට සුදුසුකම් ලබා ගත්තා. ඊට අමතරව දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ද සුපර් එයිට් වටයේ තම ස්ථාන තහවුරු කරගෙන අවසන්.
ජාත්‍යන්තර තරගාවලියක් අතරතුර පමණක් එකිනෙකා හමුවන ඉන්දියව සහ පාකිස්තානය ලොව කොතැනක දී තරග වැදුණ ද ඊට ඇත්තේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක්. ඒ නිසාම T20 ලෝක කුසලාන තරගාවලියේ A කාණ්ඩයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඊයේ පැවැත්වුණු තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල කල්වේලා ඇතිවම අලෙවි වී තිබුණා. ඔවුන් වෙනුවෙන් ක්‍රීඩාංගනයේ දොරටු විවෘත කෙරුණේ පස්වරු තුනටයි. ක්‍රීඩාංගණය තුළට ඇතුළත් කර ගැනීමට පෙර ප්‍රේක්ෂකයන් ඇතුලු සියලු දෙනා දැඩි පරික්ෂාවකට ද ලක් කෙරුණා. මෙම තරගය නැරඹීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහිසින් නක්වි ඇතුලු පිරිසක් ද එක් වුණා. තරගය වර්ජනය කරන බවට තර්ජනය කර තිබූ පාකිස්තානය සමග සාකච්ඡා කර ක්‍රිකට් ලොව සාම්ප්‍රදායික පසමිතුරු සංග්‍රාමය ජීවමාන කරන්නට මැදිහත්කරුවෙකුගේ භුමිකාව ඉටුකළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද තරගය නැරඹිමට පැමිණියා. තරගය ඇරඹිමට පෙර ඉන්දීය ජනප්‍රිය රැප් ගායක හනුමාන්කයින්ඩ් ගේ සංදර්ශනයකින් අතුරු සිදුරු නොමැතිව පිරී තිබූ ආර් ප්‍රේමදාස ප්‍රේක්ෂකාගාරය රසාලිප්ත කෙරුණා.
කාසිය වාසිය උරගා බැලුණේ ඉන් පසුවයි. බොහෝ දෙනා අපේක්ෂා කළ නමුත් දෙපිලේ නායකයින් අතට අත දීමෙන් වැළකුණු අතර කාසිය වාසිය දිනා ගත් සල්මන් අලි අග්හා පන්දු යැවීම තෝරා ගත්තා. ඉෂාන් කිෂාන් සමග ඉනිම ආරම්භ කළ අභිෂේක් ෂර්මා තරගාවලියේ දෙවැනි වරටත් ලකුණු නොලබා පළමු පන්දුවාරයේදීම දැවී ගියා. නමුත් ඉෂාන් කිෂාන් ඇඳ බැඳ තබා ගන්නට පාකිස්තාන පන්දු යවන්නන් අසමත් වුණා. ඔහු පන්දු 40 කින් රැස් ඛළ ලකුණු 77ක් රැස් කළා. පන්දු යැවීමේදී යම් තරමකට හෝ සාර්ථක වූයේ සයිම් අයුබ් පමණයි. අයුබ් ලකුණු 25කට කඩුලු තුනක් දවා ගත්තා. ඉන්දීය ඉනිම පන්දුවාර 20 අවසානයේ සටහන් වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලෙසයි. ප්‍රේමදාස තණතීරුවේ දෙවැනි වර පන්දුවට පහර දීම එතරම් පහසු නැති බව ඊයේ යළිත් සනාථ කෙරුණා. පවර් ප්ලේ පන්දුවාර හය තුළ පාකිස්තාන මුල් පෙල පිතිකරුවන් සිව්දෙනෙකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ ඉන්දීය පන්දු බළඇණිය ඔවුන්ට ලබා දී තිබුණේ ලකුණු 38ක් පමණයි. කඩා වැටුණු පාකිස්තාන ඉනිමට මුක්කුවක් ගසන්නට උස්මාන් ඛාන් යම් තරමකට උත්සාහ ගත්ත ද එය සවිමත් කරන්නට අනෙක් අන්තයෙන් ඔහුට සහයක් ලැබුණේ නැහැ. උස්මාන්ගේ ඉනිම ලකුණු 44කට සීමා වුණා. ෂහීන් ෂා අෆ්රිඩි හැරෙන්නට අන් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 20 සීමාව පසු කරන්නට හැකි වූයේ නැහැ. පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 114ක් පමණයි. ඒ අනුව ලෝක කුසලාන t20 තරගයක 8 වැනි වතාවටත් ඉන්දියාව හමුවේ පාකිස්තානය පරාජය වුණා. මෙම ජයත් ඉන්දියාව T20 ලෝක කුසලාන තරගාවලියේ සුපර් එයිට් වටයට ද සුදුසුකම් ලබා ගත්තා.





