ඉන්දියාවේ 77 වැනි ජනරජ දිනය

ඉන්දියාව අද සිය 77 වැනි ජනරජ දිනය සමරනු ලැබුවා.
මෙලෙස සැමරෙන්නේ 1947 වසරේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වූ ඉන්දියාව, ස්වාධීන ජනරජයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත් දිනයයි.
ඉන්දියාව මෙවර ජනරජ දිනය සමරන්නේ විවිධත්වය තුළ එකමුතුකම යන තේමාවෙන්.

ඉන්දීය ඉතිහාසය මෙතෙක් බිහිකළ විශිෂ්ටතම නීතිවේදියා ලෙස සැලකෙන ආචාර්ය භීම්රාඕ අම්බෙඩ්කාර් විසින් විශාල ජන විවිධත්වයක් සහිත සහ කෝටි 6කට ආසන්න පීඩිත කුල නියෝජනය කළ ජනයාට සමාන අයිතිවාසිකම් සැපයෙන ලෙස නිර්මාණය කළ ඉන්දීය ව්‍යවස්ථාව සම්මත කළ දිනය ඉන්දීය ජනරජ දිනය ලෙස හැඳින්වෙනවා.
ඉන්දියාව වාර්ෂිකව මෙම ජනරජ දිනය සමරන්නේ එම සුවිශාල ජනවාර්ගිය විවිධත්වය පොදු අරමුණක් වෙනුවෙන් පෙළ ගැසීම ප්‍රවර්ධනය කිරීමේ අභිලාෂයෙන්.
ඒ් අර්ථයෙන් එකමුතුකමේත් සංස්කෘතික විවිධත්වයේත් සැමරුමක් වන මෙම ජනරජ දින සැමරුම ඉන්දියාවේ ප්‍රාන්ත 28ක් පුරා විසිර සිටින විශාල විවිධත්වයක් සහිත ජන කණ්ඩායම්වල සංස්කෘතික අනන්‍යතා කියාපාන අගනා සංස්කෘතික උළෙළක් ද වෙනවා.
77 වන ජනරජ දිනය සමරීම වෙනුවෙන් ඉන්දියානු රජය සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උත්සවය අද පෙරවරුවේ නවදිල්ලියේ කාර්තව්‍යා පාත් හිදී පැවැත්වුණා.
යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා සහ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් මෙවර ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්ව සිටියේ මේ වන විට ඉන්දියාව ලෝක ආර්ථිකයේ සහ ලෝක දේශපාලනයේ දරා සිටින සුවිශේෂ හිමකම සලකුණු කරමින්
ඒ් බව සනාථ කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේන් x සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ඉන්දීය ජනරජ දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වීමට ලැබීම, තම ජීවිත කාලයටම ලැබූ ඉහළම ගෞරවයක් බවයි.
සාර්ථක ඉන්දියාවක් ලෝකය වඩාත් ස්ථාවර, සමෘද්ධිමත් සහ ආරක්ෂිත ස්ථානයක් කරන බව ද සියලු දෙනාට එහි ප්‍රතිලාභ හිමිවනු ඇති බව ද ඇය වැඩි දුරටත් සඳහන් කර තිබුණා.
ඉන්දියානු සංස්කෘතියේ පොහොසත්කම, ආර්ථික ප්‍රගතිය සහ හමුදා ශක්තිය උත්කර්ෂයට නැංවුණු සැමරුමේදී ඉන්දියාව සතු යුද ශක්තිය විශේෂයෙන් උත්කර්ෂයට නංවනු ලැබුවා.
ඉන්දියාව සතු මිසයිල, ප්‍රහාරක ජෙට් යානා, මෙන්ම සින්දූර් මෙහෙයුමේදී භාවිතා කරන ලද දියුණු ආයුධ ද පෙළපාලියේදී ප්‍රදර්ශනය කෙරුණා.

ඉන්දියාවේ 77 වැනි ජනරජ දිනය වෙනුවෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කරන ලද සැමරුම් උත්සවය මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැත්වුණේ ඉන්දියා හවුස් හිදී.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ඩයස්පෝරාවේ බොහෝ පිරිසක් එක්ව සිටියා.

මේ අතර ඉන්දියාවේ 77 වන ජනරජ දින සැමරුමට සුබ පතමින් ටෘත් සෝෂල් හි සටහනක් තබමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ ලෝකයේ පැරණිතම සහ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස එක්සත් ජනපදය සහ ඉන්දියාව ඓතිහාසික බැඳීමක් බෙදා ගන්නා බවයි.
චීන ජනාධිපති ෂී ජින්පින් ජනරජ දිනයට සුබ පතමින් පවසා තිබුණේ චීනය සහ ඉන්දියාව “හොඳ අසල්වැසියන්, මිතුරන් සහ හවුල්කරුවන්” බවයි.
පසුගිය වසර පුරා චීන-ඉන්දියානු සබඳතා අඛණ්ඩව වැඩිදියුණු වී වර්ධනය වී ඇති බව සඳහන් කළ ෂී ජනාධිපතිවරයා “ලෝක සාමය සහ සමෘද්ධිය පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා එය ඉතා වැදගත් බවද සඳහන් කළා.

Share