ඉන්දියාවේ දිල්ලි නුවර රතු බලකොටුව අසල මෝටර් රථයක ඊයේ රාත්‍රියේ සිදු වූ පිපිරීමෙන් නව දෙනෙකු ජිවිතක්ෂයට පත්ව පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පුපුරා ගිය මෝටර් රිය දකුණු කාෂ්මීරයේ පුල්වාමා හි වෛද්‍යවරයෙකුට අයත් එකක් බවට හඳුනා ගෙන තිබෙනවා.
ඉන්දීය බුද්ධි අංශ සැක පළ කරන්නේ මෙම ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙසයි.
මේ අනුව ක්‍රියාත්මක වූ ඉන්දීය බුද්ධි අංශ විසින් පුල්වාමා ප්‍රදේශයේ දී ප්‍රධාන සැකකරු ඇතුළු තවත් 3දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන 17 වැනි සියවසට අයත් රතු බලකොටුව ආසන්නයේ ප්‍රබල පිපිරීමක් සිදුවුණේ ඊයේ පස්වරුවේදීය.
මෙට්‍රෝ දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ රථවාහන සංඥා කණුවක් අසල අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අටවා තිබූ මෝටර් රථයක් පස්වරු 06.52ට පමණ පිපිරීමට ලක්කර තිබෙනවා.
පිපිරීමෙන් මේ දක්වා පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර 20දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම පිපිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රමුඛතම ත්‍රස්ත විමර්ශන ආයතනය වන ජාතික විමර්ශන ඒජන්සිය සහ ජාතික ආරක්ෂක බලකාය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
දිල්ලි ගිනි නිවීම් සේවය බීබීසීයට තහවුරු කළේ, සවස 6:55ට තමන් වෙත ඇමතුමක් ලැබුණු බවයි.
එම ඇමතුමෙන් දන්වා ඇත්තේ රතු බලකොටුව ඉදිරිපිට මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ අංක 1 ගේට්ටුව අසල මෝටර් රථයක පිපිරීමක් සිදු වූ බවයි.
අනතුරුව එම ස්ථානය වෙත ගිනි නිවන රථ හතක් යැවූ බව දිල්ලි ගිනි නිවන සේවය පවසනවා.
චාන්දනී චෝක් මෙට්‍රෝ දුම්රිය ස්ථානය ආසන්නයේ මංසන්ධියක සෙමින් ගමන්කරමින් පැවති සුදු පැහැති හයිහුන්ඩායි අයි 20 මාදිලියේ මෝටර් රථය තුළ මෙම පිපිරීම සිදුව ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.
පිපිරීමෙන් පසු, ආසන්න වශයෙන් අසල තිබූ වාහන හයක් ගිනිගෙන ඇති අතර, තවත් වාහනවලට හානි සිදුව තිබෙනවා
මෙම සිද්ධියත් සමග දිල්ලි නුවර ඇතුළු මුම්බායි නගරයේ ද ආරක්ෂාව දැඩි කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගත්තා.
මීට අමතරව කොල්කටා, බැංගලූරු, ජායිපූර්, හර්යානා, පන්ජාබ්, හයිද්‍රාබාද්, උත්තර් ප්‍රදේශ්, උත්තරාකන්ද් යන නගර සහ ප්‍රාන්තවල ද ආරක්ෂාව තර ඇති අතර ඉන්දියාවේ සියලුම දුම්රිය ස්ථානවල සහ ගුවන් තොටුපොළවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ අතර ප්‍රහාරයට පැය තුනකට පෙර මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකාර රියදුරු එම මෝටර් රථය රතු බලකොටුව ආසන්න රථගාලක් වෙත රැගෙන එන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුනේ මෙසේයි.
ඔහු පස්වරු 6.30 දක්වා එහි රැඳී සිට ඇති අතර, අනතුරුව රථය රථ ගාලෙන් ඉවතට පැමිණ දිල්ලි හි ජනාකීර්ණ මාර්ගය වෙත පිවිස පසුව කෙටි වේලාවකින් එය පුපුරවා හැර ඇති බව ඉන්දීය පොලීසිය පවසනවා.
රොයිටර්ස් පුවත් සේවයට අනුව, පිපිරීමට හේතුව පිළිබඳ නිශ්චිත තොරතුරු තවමත් තහවුරු කර ගනිමින් සිටින අතර මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස තහවුරු කරගෙන ඇති බවයි වාර්ථා වන්නේ
මේ සමඟ අනීතික ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත යටතේ ප්‍රති ත්‍රස්ත නීතිය බලාත්මක කිරීමට දිල්ලි පොලීසිය පියවර ගත්තා.
තුවාල ලැබූ පිරිස ආසන්නයේ පිහිටි ලෝක් නායක් ජායි ප්‍රසාද් රෝහලේ මේ වනවිට ප්‍රථිකාර ලබමින් සිටින බව වාර්තා වෙනවා.
මේ අතර මෙම සිදුවීමට පෙර යම් ප්‍රහාරයක් එල්ලකිරීමේ සූදානමක් සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණ වී තිබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මීට ආසන්නම සිදුවීම වන්නේ නවදිල්ලි අගනුවරට කිලෝ මීටර් 50ක් පමණක් දුරින් පිහිටි හර්යානා හි ෆරීදාබාද් නගරයේ නිවසක තිබී පුපුරන ද්‍රව්‍ය කිලෝ 2,900ක් පමණ හමුවීමයි.
ජම්මු කාෂ්මීර පොලීසිය ඊයේ පෙරවරුවේ මෙම සොයාගැනීම සිදුකර තිබුණේ, ජයිෂ් ඊ මොහොමද් නම් ත්‍රස්තවාදී කල්ලියට සහාය පළකරන පෝස්ටර් ප්‍රචාරය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් අදිල් අහ්මද් නම් කාෂ්මීර වෛද්‍යවරයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් ලබාගත් තොරතුරු මතයි.
දිල්ලි ප්‍රහාරය සහ මෙම ෆරීදාබාද් ත්‍රස්ත ජාලය අතර සබඳතාවක් තහවුරු කරගැනීමට පොලීසියට හැකිව ඇත්තේ, පුපුරාගිය මෝටර් රිය දකුණු කාෂ්මීරයේ පුල්වාමා හි වෛද්‍යවරයෙකුට අයත් එකක් බවට හඳුනාගැනීමත් සමඟින්.
මේ අතර සිදුවීම සැලවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් X සටහනක් තැබූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ ඥාතීන් වෙත සිය ශෝකය පළකර තිබෙනවා.
මේ අතර හිමාලයානු ජාතියේ සිව්වන රජු වන ජිග්මේ සිං වැන්ග්චක්ගේ 70 වන උපන්දින සැමරුමට එක්වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින සංචාරයක් ආරම්භ කරමින් භූතානය වෙත ගොස් තිබෙනවා.
එහිදී දෙරට අතර බලශක්ති හවුල්කාරිත්වයට විශාල ශක්තියක් ලබා දෙමින් පුනත්සැන්චු-II ජල විදුලි ව්‍යාපෘතිය ආරම්භ කරන බව නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ප්‍රහාරය සිදු වූ ස්ථානයට ගිය ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂාහ් පැවසුවේ මේ සම්බන්ධ පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.
කෙසේ වෙතත්, පිපිරිම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිසිදු කෙනෙකුට අනතුරක් සිදු වී ඇති බවට වාර්ථා වී නැහැ.





