ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගයේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ කඩුළු 6ක ජයක් ලබා ගත්තා.
තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් වෙතයි.
මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරකයන් පළමුවෙන් පන්දුවට පහර දීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 220ක් රැස්කර ගත්තා.
තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත් අජින්ක්‍යා රහනේ පන්දු 40කින් ලකුණු 67ක් රැස් කළා.
ඔහුට අනගි සහයක් වූ අංග්ක්‍රිෂ් රඝුවංශි ලකුණු 51යි.
පන්දු යැවීමේදී ෂර්දුල් තාකූර් කඩුළු 3ක් දවා ගත්තා.
ලකුණු 221ක ඉලක්කය පන්දු 5ක් ඉතිරිව තිබිය දී සපුරා ගන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.
ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත් ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 148ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුණා.
එහිදී රයන් රිකෙල්ටන් ලකුණු 81ක් සහ රෝහිත් ෂර්මා ලකුණු 78ක් ලබා ගත්තා.
තරගාවලියේ තෙවැනි තරගය, රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර අද රාත්‍රී 7.30ට ගුවහාති හීදී පැවැත්වෙනවා.





