ඉතිහාසයේ වැඩිම බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් කච්චතිව් මංගල්‍යය උත්කර්ෂවත්ව පැවැත්වේ

ශ්‍රී ලංකාවේ උතුරු කෙළවරේ පිහිටි කච්චතිව් දූපතේ ඇති ඓතිහාසික සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මෙවර 14වැනි වතාවටත් අති උත්කරකර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

ඉන්දීය සහ ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් 14 දහසකට ආසන්න පිරිසක් මෙවර මංගල්‍යය සඳහා සහභාගී වී සිටියා.

මෑත ඉතිහාසයේ කච්චතිව් මංගල්‍යය සදහා සහභාගී වූ වැඩිම බැතිමතුන් පිරිස ලෙසයි එය සැලකෙන්නේ. කච්ච්තිව් දූපතේ පිහිටුවා ඇති සාන්ත අන්තෝනී දේවස්ථානයේ ඉතිහාසය වසර සිය ගණනක් අතීතයට දිව යනවා.
වර්ෂ 1905 දී ඉන්දියානු කතෝලිකයකු වන සීනිකුප්පන් පදයච්චි විසින් මෙම හුදෙකලා දූපතේ සාන්ත අන්තෝනී මුනිඳුන්ගේ ප්‍රතිමාවක් පළමුවරට ස්ථාපිත කරනවා.
ඒ ඉන්දීය සාගර කලාපයේ ධීවර කර්මාන්තයේ යෙදෙන සියලු ධීවරයින්ගේ ආරක්‍ෂාව සඳහායි.
කතෝලික බැතිමතුන් සාන්ත අන්තෝනි මුනිදුන් සලකන්නේ ධීවර ප්‍රජාවගේ අනුශාසක ශාන්තුවරයාණන් ලෙසයි.
උතුරු නැගෙනහිර පැවති යුද ගැටුම් හේතුවෙන් වසර තිස් අටකට ආසන්න කාලයක් නැවතී තිබූ මෙම දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය නැවත ආරම්භ වන්නේ 2012 වසරේදී.
ඒ අනුව ශ්‍රී ලාංකික සහ ඉන්දීය කිතුනු බැතිමතුන් එක්ව සමරන කච්චතිව් සාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද පෙරවරුවේ ආරම්භ වුනා
මෙවරත් මංගල්‍යට සහභාගි වීම සඳහා ඊයේ දින සිටම ඉන්දීය කතෝලික ධීවරයින් 3899දෙනෙක් කච්චතිව් දූපටතට පැමිණ වාඩි ලා සිටියා.
එමෙන්ම ශ්‍රී ලාංකික කතෝලික ධීවරයින් 9762ක් මෙවර කච්චතිව් දූපතට පැමිණ සිටියේ සාන්ත අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍යයට එක් වීම සඳහායි. 2012 වසරේ සිට අඛණ්ඩව සංවිධානය කෙරෙන මෙම වාර්ෂික දේව මංගල්‍යය සඳහා සම්පූර්ණ පහසුකම් සපයනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්.

Share