ඇවන්ගාඩ් සමාගමේ පෙත්සම් විභාග නොකරම නිෂ්ප්‍රභ කරයි

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා නාවික හමුදා පරිශ්‍රවලින් ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කළ නියෝගයක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා
එම සමාගම සහ එහි සේවකයින් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කර තිබුනා.

තින්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා සඳහන් කළේ මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට තරම් සාධාරණ නීතිමය පදනමක් අනාවරණය නොවන බවයි.
පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණේ කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය නාවික හමුදා පරිශ්‍රවල පවත්වාගෙන ගිය සිය අවි ගබඩා ඉවත් කරගන්නා ලෙස ඉකුත් අගෝස්තු මස 28 වනදා ගනු ලැබූ තීරණයකට අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර තිබූ බවයි.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන සහ කුවේර ද සොයිසා යන මහත්වරු මෙම පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මෙම ව්‍යාපාරය සිය සේවාදායකයින් විසින් නීත්‍යානුකූලව පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් බවයි.
විකල්ප ස්ථාන ලබාදීමකින් තොරව අත්තනෝමතික ලෙස මේ ආකාරයෙන් අදාළ අවි ගබඩා ඉවත් කර ගන්නා ලෙස නියෝග නිකුත් කිරීම නීතියට පටහැනි බවත් ඔවුන් තර්ක කළා.

Share