ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට අවසන් නිවේදනයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට සිය අවසාන නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානයට සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹිය නොහැකි නම් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් විය යුතු බවයි.
වොෂින්ටනයේ පැවති ජනපති ට්‍රම්ගේ සාම මණ්ඩල පළමු රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
“එසේ නොවුවහොත් නරක දේවල් සිදුවනු ඇත” ඉරානයට ප්‍රහාරයක් එල්ලකරන බවට යළි යළිත් තර්ජනය කරමින් ජනපති ට්‍රම්ප් පවසා සිටියා.
ඒ අනුව ඔහු ඉරානයට දින 10ත් 15ත් අතර කාල සීමාවක් ලබාදී තිබෙනවා.
එම කාලය තුළ ඉරානය සිය කොන්දේසි සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත් අමෙරිකාව ඊට ප්‍රතිචාර දක්වනු ඇති බවටයි ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ අතර අමෙරිකාව සිය රටට ප්‍රහාරයක් එල්ල කළහෙත් කලාපයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය විසින් තර්ජනය කර තිබුණා.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් වෙත ලිපියක් යවමින් ඉරානය දැනුම්දී ඇත්තේ, තමන් කිසිදු යුද්ධයක් ආරම්භ නොකරන බවයි.
නමුත් සිට රට මිලිටරි ආක්‍රමණයකට ලක් වුවහොත්, ඉරානයද ඊට ප්‍රතිචාර දක්වනු ඇති බවත්, ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය වෙනුවෙන් එය එසේවන බවත් දැනුම්දී තිබෙනවා.

Share