වසර දෙකකට පෙර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් හේතුවෙන් ඇණහිට ඇති නව වෙළඳ ගිවිසුමක් සඳහා වූ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කැනඩාව සහ ඉන්දියාව එකඟ වී ඇති බව ඉන්දීය රජය පවසනවා.
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවති G20 සමුළුවට සමගාමීව ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සඳහා අගමැති මාර්ක් කාර්නි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවුණා.
2030 වන විට ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 50 දක්වා දෙගුණ කිරීම අරමුණු කරගත් ඉහළ අභිලාෂකාමී විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට නායකයින් එකඟ වූ බව ඉන්දීය අගමැති කාර්යාලය නිවේදනය කළා.
සාකච්ඡා නැවත ආරම්භ කිරීම මගින් කැනඩාව එහි විශාලතම වෙළඳ හවුල්කරුවා වන ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔබ්බට වෙළඳ සබඳතා පුළුල් කිරීම වේගවත් කිරීමේ අරමුණ පෙන්නුම් කරනවා.
කැනේඩියානු සික් බෙදුම්වාදියෙකු ඝාතනය කිරීමට ඉන්දීය රජය සම්බන්ධ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් සබඳතා පළුදු වීමෙන් පසු කැනඩාව 2023 දී පුළුල් වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා අත්හිටුවූවා.





